Google+ Followers

Wednesday, November 30, 2011

මම චිත්‍රවලට යෙමු වුණ හැටි..

සෑම් ශිෂ්‍යත්වෙට වෙනකල් ගියේ ගමේ පාසලටය. ශිෂ්‍යත්ව ප්‍රථිඑල ඇවිත් 6 වසරේ මාස දෙකක්, තුනක් යනතුරැත් මම ගියේ ගමේ ඉස්කෝලෙටය. ඒ ශිෂ්‍යත්වෙන් පාස් වුණ නිසා අළුත් පාසල ලැබෙන තෙක්ය. අපේ තාත්තා උගන්නපු පාසල නිසා මම ඒ ඉස්කෝලේ හිටියේ කර කියා ගත හැකි කිසිවක් නොමැතිවය. ඒ මම අදෝ වාතයක් යැව්වත් තාත්තගේ කනට වැටීම නිසාය. ඒ තරහ නිසාම මම ශිෂ්‍යත්වය උපරි‍මයෙන් කලෙමි.

හය වසරේ සිටින මාස කිහිපයේ අප සෞන්දර්ය විෂයක් තෝරා ගත යුතුය. මම කැමැත්තෙන්ම ගියේ සංගීත කිරීමටය. ඒ කාලේ තිබුණ බටනලා ගැසීමේ අශාව නිසාමය. මට තවමත් එකට සතුටු සාගරේ, දියගොඩ සැම තැන, වැනි ගීත පමණක් බටනලාවෙන් වාදනය කළ හැක.

ගමේ පාසලේ ගොඩක් අය කැමති වුණේ චිත්‍ර කිරීමටය. ඒ සංගීත කාමරයට සපත්තු ගලවා අතුල් වීමට තිබූ අකැමැත්ත හා කරදරය නිසාමය. අනිත් හේතුව වූයේ චිත්‍ර සර් පැන්ෂන් යන්නට ආසන්නව සිටීමයි. ඒත් හැමෝම හිතුවේ පැන්ෂන් යන්නට කලින් යටියන්තොටට ටිකට් එක හම්බවෙයි කියාය. ඒ ඉස්කෝලේ චිත්‍ර කරන කොල්ලන්ට සංගීත කරන එවුන්ට වඩා ලකුණු වැඩි වේ. හේතුව සර්ගේ ඇස් නොපෙනීමයි. චිත්‍ර පොත දුන් විට සර් ඇස් දෙක ලගටම පොත තියා බලයි. සර්ට පාට වර්ග එච්චර හොදට පේන්නේ නැත. චිත්‍රයට තද වර්ණ යොදා ගන්නා අයට ලකුණු වැඩි වුයේ සර්ට ඇස් නොපෙනෙන නිසාය. ඒ නිසා බොහොමයක් අය කලේ තදින් පාට කර ලකුණු වැඩි කර ගැනීමයි. සර්ව ඕලෙවෙල් පේපර් මාකින් යැව්වේ නැත්තේ රටේ යහපතටය.

මාස දෙකකින් විතර පසු අළුත් ඉස්කෝලේත් මම කලේ සංගීතය. ඒ වෙනකොටත් අලුත් පාසලේ සංගීත වලට ලමයි තෝ‍රාගෙන නොතිබුණ නිසා මම යලිත්  රිංගුවේ සංගීත කාමරේටයි. අපිට එහේ සෞන්දර්ය විෂය තිබ්බේ පන්ති දෙකකට එකම වෙලාවේය. එදා පළවෙනි දවස නිසා සංගීත කාමරේ ඉඩ තිබ්බේ නැත. සර් කළේ සර්පිනාව වාදනය කරන ගමන් එකිනෙකාගේ ක‍ටහඩ පරික්ෂා කර තාලෙකට අත්පු‍ඩියක් වත් ගහන්න බැරි ‍එවුන් චිත්‍රවලට පැන්නීමය. මම එයිනුත් අවධානම් කලාපයට නොගොස් බේරැනෙමි. අපේ තාත්තා, අම්මා ගියේත් මේ ඉස්කෝලෙටමය. ඒ කාලේ සංගීත උගන්වා ඇත්තේ මර්වින් පෙරේරා  (අමල් පෙරේරාගේ පියා) සංගීතඥ්ඥයාය.

මම හය වසරේ සිට නවය වසර දක්වාම සංගීත කළෙමි. ඒත් මම මේ කතාව ලියන මොහොතේත් මතක් කලේ සංගීත කා‍මරය තිබ්බේ කො‍තැනද කියාය. මාත් එක්ක සංගීත පන්තියේ සිටි කිසිවෙකුත් මට මතක නැත. සාලිය සංගීත කිරීමට අවේලාවේ රිංගුවා මතකය. මට නැටුම් කාමරය තිබ්බ තැනට ඇස් පියාගෙන වුවද යා හැක. මට මතක විදියට 7 වසරේ ඉදන් මම චිත්‍ර වලට පැන්නෙමි. අනේ මන්දා මඤ්ඤං ‍වගේ
ටීචර් මම සංගීත නෙවේ කරන්නේ චිත්‍ර කරන්නේ.." මම කීවේ ඇත්තය
මොනවා උනත් 10 හා 11 වසර වලදි චිත්‍ර වලට ඉගෙන ගත්තා මතකය. අපට ඉගැන්නුවේ කෙට්ටු, සුදු, කැද නැති, නිදි මතේ වගේ සිටි ටීචර් කෙනෙකි. ඇය කියන දේ අන්තිම පේලියට ඇසෙන්නේ නැත. ඇගේ ස්ටයිල් එක අපට පට්ට කම්මැලිය. අපේ එවුන් ගේ ජෙනරේෂන් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්නේ ම නැත. ඒ නිසා බොහොමයක් එවුන් හිටියේ කොරිඩෝවේය. පිනා එන බවට නිවුස් එකක් ආවොත් පන්තියට රිංගති.

ටීචර් චිත්‍රයක් අදින්න දුන්නොත් සමහරැ උනන්දුවෙන් අදිති. ගොඩක් එවුන් පාවිච්චි කලේ පැස්ටල්ය. වෝටර් කලස්, ටියුබ් කලස්, පන්තිය අතුලේ භාවිත කිරීම තීන්ත නෑමකට අත වැනීමක් නිසා බොහෝ අය ඉන් වැලකී සිටියහ. පැස්ටල් භාවිත කිරීම නිසා ටීචර්ට පෑනෙන් ලකුණු දැමීමට අපහසු විය. පැස්ටල් මත පෑනෙන් ලිවීමට බැරි නිසාය. එනිසා ටීචර් අපිට කීවේ පිටුව වටේට පොඩි ඉඩක් තියා චිත්‍ර අදින ලෙසය. ඒත් අපේ එවුන් පිස්සුවෙන් ඇන්දා, පාට කලා මිසක් ඒවා කනකටවත් නොගත්තෝය.

ඒ කාලේ පන්තියේ එකෙක් චිත්‍රයක් ඇන්දොත් එම චිත්‍රය දෙතුන් දෙනෙකුට සෑහේ. අපේ එවුන් කරන්නේ එකෙකු ඇන්ද චිත්‍රයක් ටීචර්ට පෙන්නුවාට පසු, ටීචර් ලකුණු දැම්ම තැන තදින් නැවත පාට කර පසුදින නැවත පෙන්වීමය. සමහර දාට චිත්‍රය ඇන්ද කෙනාට වැඩිය දෙවෙනි පාර පෙන්වන කෙනාට ලකුණු වැඩිය. ඒ තරමට ටීචර්ට පන්තියේ මොකද වෙන්නේ කියා මීටර් නැත.

එදා ටීචර් සිටියේ පන්තියේය. මම ඇතුළු සෙට් එකක් සිටියේ කොරිඩෝවේය. හදිසියේ එකෙක් දුව ගෙන ආවේ පිනා එනවා කියාගෙනය. යන්න එන්නට තැනක් නොමැති වූ බොහොමයක් පැන්නේ චිත්‍ර තිබ්බ අපේ පන්තියටය. මමත් පැන්නේ සාධාරණව මාත් චිත්‍ර කරන දරැවෙකු නිසාය.

"මොකද ඒ පාර හරක් රැලක් වගේ පන්තියට පැන්නේ" ටීචර් ඇසුවාය. එකෙක්වත් සද්ද නැතිව ඉද ගත්හ. හදිස්සියට මට සෙට් වුනේ ඉස්සරහ පේලියේ පුටුවක්ය. ටීචර් මා දිහා බැලුවේ පිට සක්වල කුමාරයයි. පැංචො හත් දෙනයි දිහා බලන පරිදිය.

"ඇයි සංගීත කරන ලමයි පන්තියට ආවේ. මේක චිත්‍ර උගන්න වෙලාව. ප්‍රින්සිපල් ආවොත් මම ඔයාව අල්ලලා දෙනවා.." ටීචර් කීවේ මටය.

"නැහැ නැහැ ටීචර් මම සංගීත නෙවේ කරන්නේ චිත්‍ර කරන්නේ.." මම කීවේ ඇත්තය.

"බොරැ කියන්න එපා.. ඔයාව මම කවදාවත් පන්තියේ ඉන්නවා දැකලා නැහැ.." ඇත්ත තමයි ටීචර් දකින්නේ කොහොමද මම පන්තියේ හිටියේ චිත්‍ර පෙන්නලා ලකුණු දාගන්න විතරය.

"නැහැ ටීචර් බොරැ නම් ටීචර්ගේ ලිස්ට් එක බලන්න මගේ නම ඇති.." මම කියනකොට අපේ එවුන්ගේත් නොමද අනුග්‍රහය ලැබුනේ මම චිත්‍ර දරැවෙක් කියාමය. අපේ ටීචර්ට චිත්‍ර කරන අයගේ නම් ලියූ පොත් දෙකක් ඇත. එකක ඇය අපේ ලකුණු මා(ර්)ක් කරන්නීය. අ‍නිත් එකේ ඇත්තේ නිකම් නම් ලිස්ට් එකකි.

"මේ බලන්න මේකේ ඔයාගේ නම නැහැ.." ටීචර් කීවේ නම් ලියූ කොලය බලමිනි. මට කට උත්තර නැත. මාත් ඔළුව දමා බැලීමි. නම නැත. සෑමා විනාසය.

"නැහැ නැහැ ටීචර් ලකුණු දාන පොතේ බලන්න ඒකේ ඇති.." වෙනදාට ටීචර් ලකුණු දා‍න පොතේ නම ඇත. මට පට්ට ෂුවර්ය. ඒත් ටීචර් ගණන් ගත්තේ නැත.

"නිකන් මගේ කාලේ නාස්ති කරන්නේ නැතිව එලියට යනවා.." කරන්නට දෙයක් නැත. මම ගියෙමි.

ඒත් ඊලග දිනයේ පන්තියේ සිටි විට ටීචර්ට මුකුත් මතක නැත. මගේ නම ලිස්ට් එකේ තිබේද කියාවත් බැලුවේ නැත. අනේ මන්දා මඤ්ඤං ‍වගේය.


මට ඕලෙවල් චිත්‍රවලට තිබ්බේ C එකකි. ඕලෙවල් ලියද්දී මගේ ඉස්සර හිටියේ ලක්ෂාය. එදාත් මට හරකෙක් හෝ අලියෙක් (හරියටම මතක නැත මොකෙක් හෝ සතෙකි) ඇද ගත්තේ ලක්ෂාට කියාය.

Written by sAm_28.11.'11

පලි- චිත්‍ර ඉගෙන ගත්තට සෑමාට මතක චිත්‍ර 3කි. එකක් ඕලෙවෙල් වලදී ලක්ෂාන්ට කියා හරකා ඇද ගත්ත චිත්‍රයයි. දෙවැන්න 8 වසරදී විජය පත්තරයට ඇන්ද සාමය පිළිබද චිත්‍රයයි. ඒ චිත්‍රය හොදම චිත්‍රය‍ට තේරී  සෑමාට කූරැ විසිහතරේ පැස්ටල් පෙට්ටියකුත් ලැබුනේය. තෙවැන්න සාලිය ගේ ගෙවල් පැත්තේ සිටියා කීව සෑමා කිසිදා නොදුටු "සෝයියා" නම් අයෙකු චිත්‍රයට නැගීමයි. සෝයියා යනු සාලියගේ ගෙවල් පැත්තේ ඇලට දිනපතා බොක දැමූ අයෙකි. මතක විදියට ඒ චිත්‍රය ගොඩක් කල් සෑමා ලග තිබ්බේය. නමුත් හොයා ගන්නට බැරි වුණ නිසා ms-paint වලින් කටුවට ඇන්ද රෑපයක් මෙහි දමමි. (ඇත්තටම ඇදපු එක මීට වඩා සුපිරිය)

කාටවත් නෙතේරෙන ලෙස සෝයියා ඇලට බොක දමා ඇත. එයට ඔහු  අනුගමනය කල නටරාජ් ඉරියව්වයි මේ
සෝයියා සිහිකර ලයික් එකක් දමන්න.. :ඩී

Tuesday, November 29, 2011

භීෂනයේ අතුරැ කතා - අවසාන සටන

පන්ති කවය මාධ්‍යය හමුවේ ප්‍රකාශයට පත් කළ දින සිට සියළු බාහිර සාධක අමතක කොට සම්මත තත්ව යටතේ අප පන්තියේ විසීමු. බට් ඒත් ඒ සියළු කාරණා මැඩ නැගී සිටියේ අ‍පගේ විසේ කාර ජානයි. එහෙමත් නැතිනම් උප්පත්තියෙන් ගෙනආ නෙසන්ඩාල දගකාර කමයි.

සියළු කරණු කාරනා මැද අප පුල පුලා බලා සිටි, පාසල් ජිවිතේ භීෂණකාරීම මොහොත උදා විය. ඒ පන්තිකවය පැවැත්වෙන සදුදා දිනයයි. පෙර වැරදි ඇත්තෝ සියල්ලෝම නිහඩය. සියල්ලෝම හමුවේ වග උත්තර බැදීමේ අභියෝගය ඉතිරිව ඇත. 

ඥානේ මග හැර සංගීත cheater ටීචර් බැලීමට රිංගූ සාලිය, මා සමග දණ ගසා සිට පද මාරැ කර පාරැ කවි කියූ නාමල්, ලක්ෂාගේ පොත හොරකම් කිරීම නොදැකීම නිසා වැරදි කරැවන් වූ මම සහ චේති, තම මිතුරා පීරියඩ් කට් කිරීම නිසා වැරදි කරැ වූ ලක්ෂා, පන්තියේ බලු බෙට්ට නිසා ලලිතා පාඩම නොකිරීමට හේතු වූ මම සෑමා... යන සියල්ලෝම චූදිතයෝය. සියල්ලෝම වෙන වෙනම වග උත්තර හදාගෙන සිටියේ එන දේකට මුහුණ දීමටය. නමුත් පන්තියටම තිබූ ඉහලම චෝදනාව එල්ල කළේ ඥානේය. ඒ කළු ලෑල්ලේ පොල්තෙල් ගෑවා යැයි අභූත චෝදනාවකි. බාල වර්ගයේ චෝක් නිසා බෝඩ් එකේ ලිවීමට අපහසු වූ බව ඥානේ කිසිදා පිළිනොගත්තේය. ඇල්බට් අයින්ස්ටයින් වන් කොණ්ඩය තිබූ පුද්ගලයෙකුගේ සිත වෙනස් කිරීමට අපහසුය.
පන්තියටම තිබූ ඉහලම චෝදනාව එල්ල කළේ ඥානේය

මේ සියල්ල මැද සෙක්ෂන් එකම හෙල්ලූ ඩුම්මගේ සූදුවට චූදිතයෝ රැසකි. ඔවුන් දැනටමත් දඩුවම් විද අහවර මුත් පන්තිකවයේදී ස්ටෝරිය යලි ඇදෙනවා suck-sudath සක් සුදත් සේ විශ්වාසය.

"මචං අද අපිට පෝරියල් එක සෙට් වෙන දවස, ඒක නිසා පන්තිය අතුගාලා සුපිරියට තියහල්ලා" අවධානමට පෙර සූදානම හොදය. කලින් දින චෝක් කැබලි වලින් ගහ ගැනීම නිසා පන්තියේ චෝක් නැත. ඒ ඥානේ කෑගසා ලියවෙන්නේ නැහැ කියු චෝක්ය. කෝකටත් ඔෆීසියෙන් අළුත් චෝක් ‍ගෙනාවේ කතන්දර අසන්නට බැරි නිසාය.

පන්තිභාර කුසුමේ අතුළු අනෙක් ගුරැවරැ පිරිස පන්තියට පිරිණ. දෙමව්පියෝ සියළු දෙන හිදගත් අතර අපි සියළු දෙන වටේට සිටගෙන සිටියේ මාරක ලිදේ බයිසිකල් පදිනු බැලීමට මෙනි. සමහර එවුන් අම්මා. තාත්තාට නොකියා ආච්චී හෝ සීයා නැතිනම් වෙනත් ලග ඥාතියෙක් රැගෙන එන්නේ නැවත ගෙදර යෑමට අවශ්‍යය නිසාය. අපේ එකෙක් එක පාරක් තම සහෝදර අයියා එක්කගෙන ආවා මට මතකය. ඒ අයියා සිටියේ අප පාසලේම ඉහල පන්තියක ඉගෙන ගනිමිනි. පන්ති භාර ටීචර් පල නොකියා පලා බෙදු අයුරැ මට හොදට මතකය. "සෑමා" හැමදාම ගෙදරින් එක්කන් ආවේ තාත්තාවය. ඒ අපේ තාත්තා ගුරැවරයෙක් නිසා, ඉස්කෝලේ වෙන සීන් එච්චර දරැණුවට නොගන්නා බව මම දන්නා නිසාය.

කුසුමේ පොදුවේ සියළු දෙමව්පියන් අමතා අහවර වූ කළ අනෙක් ගුරැවරැන්ගේ වාරය උදා විය. බලුබෙටි සීන් එකට ලලිතා (වැරදිලා අනුන්ගේ රිපෝට් එකක් ගත්ත රංගයාගේ අම්මා) නැගිට්ටාය.

"මේ ලමයින්ගේ පන්ති පිරිසිදු කිරීම හරිම අන්තිමයි. ගෙවල් වලත් එහෙමද මේ ගොල්ලො ඉන්නේ? දවසක් පන්තියේ බල්ලෙක් ජරා කරලා. මේ ‍එක්කෙනක් වත් නෙවේ සුද්ද කරලා තිබ්බේ. මම එදා පාඩම කරන්නේ නැතිව පන්ති වාර්තා පොතේ නෝට් එකක් දාලා ගියා ඒක අස්කරන්න කියලා." කියමින් ඇය නෝට් එක දැමු පිටුව සොයන්නට වූවාය. නෝට් එක දැමූ දිනම ඒ පිටුව පරිස්සමට අරන් තිබ්බ නිසා ලලිතාට සාක්ෂි ප්‍රමාණවත් නොවින.

"බලන්න මට පේන්නේ මේ ගොල්ලෝ ඒ පිටුවත් කඩලා දාලා..." වටේටම ඔරවමින් ලලිතා නිහඩ විය.

"මේ ගොල්ලෝ මම පන්තියට එනවට කොහෙත්ම කැමති නැහැ." එව‍ර පටන් ගත්තේ ඥානේය.

"මේ ලගදී දවසක් බෝඩ් එකේ පොල් තෙල් ගාලා තිබ්බා මම එනකොට. කොහේ ලිව්වත් ලියන්න බැහැ. මේ බලන්න..." කියමින් ඥානේ හුණු කෑල්ලක් ගත්තේ වැඩේ ‍ප්රැක්ටිකලි practically ඔප්පු කිරීමටය.

බලන්න කියමින් ඥානේ හුණු කැබැල්ලෙන් ඉරක් ඇද බැලුවේය. වෙනදාටත් වඩා හොදින් ඉර ඇදුනේය. ඥානේගේ කට ඇද විය.

"නැහැ ඒ හරිය ලියවෙනවා. බලන්න මේ පැත්තේ ලියන්න බැහැ..." කියමින් යලි ඉරක් ඇද බැලුවද එය ඇදුනේය. ඥානේ තම මතය අත් නොහැරම යලිත් ක්‍රියාත්මක විය.

"මේ කෙලවරේ තමා ලියන්න බැරිම වුණේ. පොල් තෙල් ගාලා තමයි. බලන්න එලිය වැටුනාම දිලිසෙන්නේ ඒකයි" සියළු සාධක සමග ඥානේ නැවත ඉරක් ඇදීය. බෝඩ් එක පුරා ලීවත්, හොදට ලිය වුණත්, එදා බෝඩ් එකේ ලියනොවුනේ බාල හුණු කූරැ නිසා බව ඥානේ අදටත් පිලි නොගනී.

"කුසුම් ටීචර් ඊයෙද, පෙරේදද මේ ගොල්ලෝ හවස හිටියා නේද තීන්ත ගාන්න. මම හිතන්නේ එතකොට බෝඩ් එකත් හෝදලා දාන්න ඇති.." එවර ඔහු සාර්ථක කතාවක් ගෙතුවේ ලැජ්ජාව සමනය කිරීමටය.

මීලගට තිබ්බේ දෙමව්පියන් වෙන වෙනම තම දරැවා සමග ගුරැවරැ වෙතට ගොස් විස්තර ඇසීමේ වාරයයි. එම අවස්ථාවට මම අකැමති නැත්තේ අපේ තාත්තා ‍එසේ එක්කගෙන නොයන නිසාය. තැන් තැන්වල කස්ටිය ගුරැවරැ වට කරගෙනය.

ඒ අතර ඥානේ අපේ තාත්තාගේ උරහිසින් අල්ලාගෙන දරැණු කතාවකි. අතරතුර හිනා වෙනුද පෙනින. වරෙක මවෙත ඇගිල්ල දික් කර පෙන්නනුද දුටු විට පෙර නොවිදි අමුත්තක් දැනෙන්නට විය. අම්ම ගහයි  බැට් එකෙන් (තාත්තා ගෙදර ගිහින් කිව්වොත්) පෙර වැරදි එකින් එක මා ඉදිරියේ මැවෙන්නට විය. බොහොමයක් ඥානේගේ තීන්දු නිසා කැරකුන ඒවාය. ඒ අතරම ඥානේ අතින් සංඥා කල නිසාම මම ලගට ගියාද නොගියාද කියා මට මතක නැත. ඒත් මම ගොස් ඇත.

"ආ.. මෙයාද පුතා.. මෙයා හොදයි, හොදට වැඩ කරනවා.." ඥානේ කීවේ ෂොට් එකක් දාගෙන ඇවිත්ද කියා මට සැකය. දැනෙන්නට නම් ඇල්කොහොල් ගදක් එන්නේ නැත. නො එසේ නම් හුණු කෑල්ලේ සීන් එක නිසා ඥානේ කම්පනයට පත්ව ඇත. මම අමාරැවෙන් අහිංසක හිනාවක් දොට්ට දැම්මෙමි.

එදා ගෙදර ගියාට පසු මම තාත්තාට කිට්ටු වුණේ වෙච්ච සීන් එක දැන ගැනීමටය. බැලින්නම් ඥානේ ගුරැ උපදේශකයෙක් ලෙස කටයුතු කරන කාලයේ අපේ තාත්තාට දේශන පවත්වා ඇත. ඒ නිසාම දෙදෙනා කලින් සිටම එකිනෙකා හදුනන්නෝය.

එදා සිට මට තිබ්බේ එකම සැකයයි.. ඥානේ මගේ හොද කීවේ මිත්‍රත්වය නිසා හිත රිදවන්න බැරිවද? නැත්තම් ඇත්තටම සෑමා හොදට වැඩ කරනවාද?

හැබැයි සෑමාට ඕලෙවල් වලට තිබ්බ A අකුරැ පහට අමතරව B එකක් තිබ්බේ ඥානේගේ ගණිතයට තමයි. පොර නොහිටිය නම් ඒකත් Aය. අනිත් 2ම Cය.

Written by sAm_29.11.'11_1.40pm

ඊලගට අප හමුවන්නේ ඒ ලෙවල් A/L පන්තිකව ස්ටෝරියෙනි...

Monday, November 28, 2011

සෑමා සහ මිටිය..

සෑමා මේ ටිකේම ලිව්වේ කාටවත් වෙච්ච සීන්ය. බඩුත් එක්ක හොරැ ලිවු සෑමා පාඩමක් ඉගෙන ගත්තේ මාටියා (ඩී.ජේ බව්වා) ගෙනි. මාටියාට අවසාන කතාව ලියා උගත් පාඩම් හා ලබපු අත්දැකීම් ඇසුරෙන් සෑමාට වෙච්ච කතාවක් ලිවීමේ පසුබිම මෙසේ සකසමි. සෑමා‍ අනුන්ට වෙච්ච අකරතැබ්බ කතා විතරක් ලියනවා කීම මා එක හෙලා ප්‍රතික්ෂේප කරමි. පරන පෝස්ට් හාර අවුස්සා බැලුවොත් සෑමාට වෙච්ච අකරතැබ්බ බලා ගත හැක. ගාල්ලේට මාට්ටු වීම, පන්තියේ බලු බෙට්ටට කර ගැසීම, පිනා ඉදිරියේ දණ ගැසීම, ඥානේ ලග තියෙන ඒවා තියෙනවාද බලන්න කියා බයිට් කරීම, යන සෑම අකරතැබ්බයක්ම සෑමාට වෙච්ච දේවල්ය.

පවුලේ බාලම දරැවා නොහොත් බඩ පිස්සා වීමේ අනිටු විපාක දන්නේ මද්දුමයෝ නොව මා වන් අනෙක් බඩ පිස්සෝමය. අම්මා, තාත්තාට පමණක් නොව අයියා, අක්කාටද කඩේ යාමට සිද්ධ වන්නේ දෛවයේ සරදමක් ලෙසය. ඇවිදින්න ආස කාලේ නිසාම කට ඇද කරගෙන, දිව දොට්ට දාගෙන කඩේ යන්න වෙන්නේ බේරෙන්න බැරිකමටය. අනෙක් සියළු ලෝ වැසි බඩ පිස්සන්ට මෙන් නොව සෑමාගේ කේන්දරය රැදුරැය. ගෙදර එවුන්ටත් වඩා අල්ලපු ගෙදර ලොකු අම්මා, මහප්පාගේ සිට සහෝදරයින්ටත් කඩේ යන්නට වූයේ සෑමාටය. ඒ පොඩි කාලේය. දැන් සෑමා පෙර වැරදි සිහිකර ඔවුන්ව කඩේ යැවීමට තැත් කරයි. නිව්ටන් මාමාගේ තෙවන තියරිය එයයි.

අපි චූටි කලේ අපේ ගෙදර තිබ්බේ කළු සුදු ‍Daytron TV එකකි. හේමේ බයිස්කෝප් පෙන්නපු එක නෙවේය. ඒක තිබ්බේ උඩ තට්ටුවේය. උඩ තට්ටුවේ නිසා වයර් කෑල්ලක් ගැහුවත් ‍සුපිරියට චැන්ල් සියල්ල පෙනේ. පහල තට්ටුවේ අපේ කඩ තියෙන නිසා අපි ඉස්කෝලේ ඇරී ඇවිත් දවසම සිටින්නේ පහල තට්ටුවේය. මමත් අක්කාත් උඩ තට්ටුවට ඒමට බයය. ඒ හොල්මන් භීතිකා නිසාය. බොහෝ අයට පොඩි කාලේ එහෙම ලෙඩක් ඇත. ඒ නිසාම අපි ටීවී බැලුවේ (අල්ලපු ගෙදර) අපේ ලොකු අම්මලාගේ ගෙදරිනි. අපි රෑට පමණක් උඩ තට්ටු‍වට එන්නේ නිදා ගන්න පමණි. ඒත් අපේ අයියා මට වඩා අවුරැදු 5ක් වැඩිමල් නිසා බය නැත. තනිවම උඩ සිටී. පොර අපි එනවාට අකැමති නිසාම සමහර දවස් වලට උඩට ගියාම බය කරන්නේ අපේ පැමිණීම සීමා කරන්නය. (මගුලයි දැන් මතක් වුනේ පොරත් මේක කියවනවා)

එදා නිවාඩු දිනයක් වූ නිසා පවුලේ සැවොම ගෙදරය. අම්මා කුස්සියේ උයයි. තාත්තා පහල තට්‍ටුවේය. අක්කා උඩ තට්ටුවේ සාලයේය. අයියා හිටිය තැන මතක නැත. මම හිටියේ වත්ත පහලය. වත්ත පහල හිටපු නිසා ම‍ට ගෙදර කියන දේවල් ඇසෙන්නේ නැත. ඒ දවස් වල අපේ ගෙදර බාස්ලා කිහිප දෙනෙක් වැඩ කරමින් සිටියා  වගේ මට මතකය.

"චූටි මැණිකේ හාල් නැහැ.. හාල් කිලෝ එකක් ගේන්න.." අම්මා කුස්සියේ සිට අක්කාට කියා ඇත. මම වත්තේ නිසා මට ඇසුනේ නැත. මම දන්නේත් නැත.

"තාත්තේ.. අම්මා හාල් ගේන්න කිව්වා.. කිලෝ එකක්.." බැල්කනියෙන් පහල තට්ටුවට ඔළුව දමා අක්කාගේ ඩියුටිය අක්කා තාත්තාට පවරා ඇත. මම ඒ සීන් එක දන්නේත් නැත. මට ඇසුනේත් නැත.

"කිලෝ එකක් එපා.. මිටියක්ම ගේන්න කියන්න..මල්ලි ඉන්නවා පිටිපස්සේ.." තාත්තා අක්කාට කියා ඇත. ඒ ඩයලොග් එකත් මට ඇසුනේත් නැත. මම දන්නේත් නැත.

"මල්ලී මිටියක්ම ගේන්න..." එවර අක්කා උඩ තට්ටුවේ දොරෙන් ඔළුව දා කීවේ මටය. මට ඇසුනේ එපමණය. මම දන්නේ ද එපමණය. "මා දන්නේ ඔබ පමණයි එයම සිහිනයයි". කී‍වේ සෝමසිරි මැදගෙදර මහතාය. ඒ මිටියකට නොවේ. ලදකටය. නමුත් මිටියේ හා ලදකගේ වෙනසක් මට නැත.

"හරි.. හරි.. ඇයි තමුසෙට යන්න බැරිද? මටම කියන්නේ??" සුපුරැදු ප්‍රශ්නය ඇසුවත්.. ස්භාදහමට අවනත විය යුතුය. බඩ පිස්සා කඩේ යා යුතුය.

"මම දන්නේ නැහැ.. ඔන්න තාත්තා කිව්වේ.." ඉහල උසාවියෙන් ඕඩරයක් නිසා සද්ද බැරිය. ඇයි පහල උසාවියේ උනොත් සද්ද දාන්නද? ඒත් බැරිය. බඩ පිස්සෝ කඩේ යාමට උපන්නාහ.

මම වත්තේ සිට තාත්තා ලගට විත් සල්ලිද ඉල්ලා ගතිමි.

"ගේන්න පුළුවන්ද ඔයාට?" තාත්තා ඇසීය.

"මිටියක් නේ.. ඕක මොකක්ද?? මම ගේනනම්"

මම කෙලින්ම ගියේ චන්න අයියලාගේ හාඩ්වෙයාර් එකටය. ඒක තියෙන්නේ අපේ හන්දියේය.

"අයියේ මට මිටියක් දෙන්න..."

"මොන මිටියක්ද? අඩු මිටියක්ද? නැත්තම් ‍බිත්ති කඩන ලොකු මිටියක් ද?"

"එහෙම මුකුත් කිව්වේ නැහැ. මිටියක් කියලා තමයි කිව්වේ.." ගෙදර වැඩ කරකර සිටි බාස්ලා බිත්තියක් කඩ කඩ සිටියහ. අඩු මිටි ඕනේ වෙන්නේ ඇණ ගැලවීමටය. ලොකු මිටියක් ගෙන යාම නුවනට හුරැය.

"ලොකු එකක් දෙන්න. කමක් නැහැ" මම මිටිය ගෙන ගෙදර ගියෙමි.

මිටිය බාස්ලාට දුන්නෙමි. ඔවුන්ද සද්ද නැතිව මිටිය ගෙන වැඩ කන්ටුනියු කළහ. පැයක් යන්නට පෙර උඩ තට්ටුවෙන් ඔළුව දැම්මේ අක්කාය.

"මල්ලී හාල් මිටිය ගෙනාවද??"

"ඈ මොකක්??" මම ඇසුන දේ ස්ථිර කර ගැනීමට නැවත ඇසීමී.

"හාල් මිටිය. ඔයා තාම ගියේ නැද්ද? අද කන්නේ නැද්ද?" අක්කාගේ හිතේ මම කඩේ ගියේ නැහැ කියාය.

"මම ගෙනාපු හාල් මිටියක් නැහැ හලෝ.. ඔයා කිව්වේ මිටියක් ගේන්න කියලනේ.. මම මිටිය ගෙනත් බාස්ලට දුන්නා"

"අම්මේ.. මෙන්න මෙයා හාල් මිටියක් නෙවේ මිටියක් ගෙනත්.." ඒ සද්දෙට අම්මා විතරක් නොව තාත්තා ද එළියට ආවේය.

"නැහැ මෙයා ඔළුව දාලා කීවේ මිටියක් ගේන්න කියලා විතරයි. හාල් කතාවක් කීවේ නැහැ." තාත්තාට සීන් එක වැටහිනි. එය කාන්තා සන්නිවේදනයේ දුබලතාවයකි. අම්මාද කීවේ දැන් ඉතින් මිටිය කඩේට ගෙනිහින් මාරැ කරන් එන ලෙසයි.

"අපෝ මට නම් බැහැ ඕක මාරැ කරන්න යන්න. විලි ලැජ්ජාවේ බැහැ.." ආයේ සීන් එකට අත ගැහුවොත් මම හාඩ්වෙයාර් එක ඉස්සරහින් ගිහින් හමාරය. රෙදි නැත. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරිය.
අඩු මිටි ඕනේ වෙන්නේ ඇණ ගැලවීමටය. ලොකු මිටියක් ගෙන යාම නුවනට හුරැය

තාත්තා මිටිය යවා මාරැ කරවා ඇත්තේ අපේ ගමේ හැමෝගේම වැඩ කරන කුලේ අංකල් අතේය. පොර හාඩ්වෙයාර් එකේ අයියාට සීන් එක ඒ ටු (ඉ)සෙඩ් A to Z කියා ඇත. ටික දවසක් යනතුරැ මම හන්දියෙන් ගමන් නොකලෙමි. විකල්ප මාර්ග භාවිත කලෙමි.

ටික දවසකින් සීන් එක බැක් ටු නෝමල් back to normal වූ පසු මම හාඩ්වෙයාර් එක ඉදිරියෙන් යන විට චන්න අයියා මාව දුටුවේය. පොර මුකුත් කීවේ නැත. මිටියෙන් ‍කුමකට හෝ තලනවා මෙන් අතින් පෙන්නුවා පමණි. ඒ හොදටම ඇතිය. රෙදි නැත. අමුඩේ ජොකා පමණක් ඇත.

Written by sAm_9.15am_27.11.'11

පලි- ඉන්පසුව මාව කඩේ යැව්වේ පොඩි කොල කෑල්ලක ගේන්න අවශ්‍යදේ ලියා දීමෙනි. දැන් මොනව හරි ගෙන්න කි‍ව්වොත් මම කරන්නේ ෆෝන් එකෙ‍් පොඩි නෝට් එකක් දමා ගැනීමය.

Saturday, November 26, 2011

බයිස්කෝප් හේමේ..

හේමේ ඔට්ටුව දිනපු හැටි දැන් කාටත් නොරහසකි. ධර්මේ මලගෙදර ගිය හැටිද එසේමය. හේමේ බියර් බෝතලේ සරම අස්සේ ගහගෙන ගම වටා ඇවිදන දිනක මට මුණ ගැසින. එවන් මොහොතක හේමේගේ ජීවිත කතාව එළියට ඇද ගැනීම පහසුය. තාක්ෂණය අද තරම් නොදියුණු යුගයක ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සමග වැඩ කළ පුද්ගලයෙකුගේ අත්දැකීම් බහුලය. එලෙස අසා දැනගත් අපූරැ අත්දැකීම් කිහිපයක් ඔහු මා හමුවේ තැබීය.

ටීවී එකක් විරල යුගයක අපේ ගමට මුලින්ම ‍ටී‍වී එකක් රැගෙන විත් ඇත්තේ හේමේය. එයද අගල් 12ක් තරමේ ටීවී එකක්ය. එකල හේමේගේ නිවස පිහිටා තිබී ඇත්තේ ‍අපේ ගමේ තිබෙන උසම ස්ථානයකය. එසේම මේ ප්‍රදේශයේ තිබෙන උසම ස්ථානය වන්නේද එයයි. ටීවී එක ගේන දවසේ කොල්ලෝ කුරැට්ටෝ ‍ගෙදරටම පැමිණ ඇත්තේ අළුත් ගැජට් එක බැලීමටය. ටීවී එක ගෙනා දවසේ සිට වැල නොකැ‍ඩී සෙනග පැමිණ අලුත් මැජික් පෙට්ටිය කුමක්දැයි කියා විපරම් කර ඇත.

ඒ කාලේ UHF තිබී නැත. තිබී ඇත්තේ VHF පමණි. අගල් 12 රෑපවාහිනීය නැරඹීමට ඔහු ප්‍රදේශයේ උසම ස්ථනයේ සිට තවත් ඉහලට උණ බම්බු ඇන්ටනාවක් බැද ඇත. පසු කලෙක රැසියන් නාලිකාවක් බලන්න පුළුවන් බවට ලැබුණු ආරංචියක් මත හේමේ තවත් උසම උණ බම්බුවක් ගෙන ඇන්ටනාව උපරිම උස් කර නාලිකාව සුසර කර ඇත. එවිටද දකින්නට ලැබී ඇත්තේ ඉරි සහ තිත් සහිත අපැහැදිලි නාලිකාවකි.
දරැවෙක් වගේ ආදරෙන් තියා ගත්තු ටීවි එකක් ගිණි තියන්න පුළුවන් ද?
ඒ දවස්වල විකාශ ඇරඹී ඇත්තේ සවස 6න් පසු රාත්‍රිය වන තෙක්ය. තිබී ඇත්තේද එකම චැනලයකි. ඉතින් සවස ගෙදරට එන පිරිස වාඩිවී රෑ දෙගොඩ හරිය වනතෙක්ම රෑප පෙට්ටිය දෙස බලා සිටිති. සෑම රාත්‍රියකදීම විකාශ වන සිංහල චිත්‍රපට බැලීමට කට්ටිය එකතු වී ඇත. පැමිනෙන පිරිස් බුලත් කෙල ගැසීම හා අපවිත්‍ර කිරීම නිසා පසුදා උදෑසනම ගෙදර පිරිසිදු කිරීමට සිදුවන්නේ හේමේටය. හේමේත් ඔවුන්ට දොස් නොකියා බිරිදගෙනුත් බැනුම් අසාගෙනම සුපුරැදු ලෙස නිවස පිරිසිදු කර ඇත.


හවස සිට රෑ දෙගොඩ හරිය වනතුරැ සිදුවන මේ ක්‍රියාදාමය ඉවසිය නොහැකි තැන හේමේගේ බිරිද හේමේට කියා ඇත්තේ පිරිසට නොඑන ලෙස බලකරන ලෙසයි. නමුත් හේමේට තම මිතුරන්ට අසල්වාසීන්ට කිසිවක් කිව නොහැකි තැන ඔහු තමා ආදරයෙන් නිවසට ගෙනා ටීවී එක පොලේ ගසා ඇත. ඉන්පසු පෙට්ට්‍රල් පවා දමා ගිණි තබා ඇත. ගින්න දුටු හේමේගේ නිවස එහා පැත්තේ ගබඩාවේ සිකුරිටියා හේමේට කෑගසා ඇත. "තමුසේ පොලිසියේ නෙවේනේ, සිකුරිටියෙක්නේ, ගබඩාවට අලාභානි වුනොත් මම බලා ගන්නම්. තමුසේ තමුසෙගේ ඩියුටිය කරනවා. මගේ ඒවාට ඔළුව දාන්නේ." මේ සිදුවීම නිසාම නිවසින් පිටත්ව ගිය හේමේගේ බිරිද මාසයකට පමණ ගෙදර ආවේලු.


ඒ අතර තුර ගමේ සිටි හේමේ ගේ මිතුරෙක් ගෙදරට ඩෙක් එකක් රැගෙන විත් ඇත. හේමේ සහ මිතුරන් ඉන්පසු චිත්‍රපට බැලීමට බයිස්කෝප් තියටර් එකක් විදියට නිවස භාවිත කර ඇත. එදිනට විකාශ වන චිත්‍රපටයේ විස්තර සහිතව කැළණිය දක්වාම ඔවුන් පෝස්ටර් අලවා පිරිස් රැස් කොට ඇත්තේ රැපියල් 3ට ෆල්ම් පෙන්නවීමටය. සියළු කටයුතු වලට පෙර එකල සිටි OIC මහතාගෙන් පවා අවසර ගෙන ඇත.


ටික කලක් පවුලේ සැමට බයිස් කෝප් පෙන්නවූ හේමේට වැල වර්ගයේ බයි‍ස්කෝප් ලැබී ඇත. එකල වැල බයිස්කෝප් යටින් යන පසුබිම් වාදනයේ තිබී ඇත්තේ දෙමල සිංදුලු. ඉතින් සද්දෙට දැම්මට අවුලක් නැත. සුපුරැදු පරිදි එදිනට නියමිත පවුලේ සැමට චිත්‍රපටයේ පෝස්ටර පාර ඇලවූ පිරිස රාත්‍රියේ පැමිණි ප්‍රේක්ෂකයන් පිරික්සා බලා ඇත. පොඩි හිටියන් එකෙක්වත් පෙනෙන්නට නොවුන තැන....


"අලුත් පීස් එකක් තියෙනවා බලමුද?" බයිස්කෝප් මඩුල්ල පිරිස ඇමතීය.


"මොනවද තියෙන්නේ?" වයසක පොරක් ඇසීය.


"හොද එකක් තියෙනවා, හැබැයි ටිකට් එකේ ගාන වැඩී. රැපියල් 15ක් වෙනවා" පවුලේ සැමට එක රැපියල් 3කි. ඒවගේ පස් ගුණයක් වටිනා බයිස්කෝප් එකට කස්ටිය සෙට් වේ.


"හරි හරි කමක් නැහැ දාමු.." සමහරැ ඉතිරි මුදල් එවලේම දී ඇත. සමහරෙක් පසු දින දෙන පොරොන්දුව මත බයිස්කෝපය බලා ඇත.


වැල බයිස්කෝප් සම්ප්‍රදාය මෙලෙස දිගටම හිස ඔසවා යන්නට විය. මග තොටේ හේමේ දකින ග්‍රාම සේවක මහතා පවා හේමේ දුටු විට අසා ඇත්තේ.. "හේම සිරි.. අළුත් එකක් ආවොත් අපිටත් කියනවා.." ලෙසයි. ඒ තරමට හේමේගේ මාකට් එකද ඉහල ගොස් තිබී ඇත. (දවසක් ග්‍රාමේ ඇසු පැනයම හාමුදුරැනමකුත් ඇහුවලු. ඒක නොලියා ඉන්නම්)


දවසක් රෑ කස්ටිය සද්දෙට බයිස්කේප් එක දාගෙන ඇත. සද්දේ අවුලක් නැත. පසුබි‍මින් දෙමල ගීත අඩංගුය. හේමේ හමුවීමට පැමිණ ඇත්තේ OIC මහතායි. නමුත් ඔහු තියටර් එකට පැමිණ නැත. එළියෙන් ඔහුගේ හඩ ඇසී ඇතුලේ සිටි නරඹන පිරිස කලබල වී ටීවී එක වසා ඇත.


"කවුද ටීවී එක වැහුවේ" හේමේ ඔළුව දමා ඇසීය.


"මම..මම.." ඇතුලෙන් හඩක් ආවේය. එ සමගම OIC මහතා පෙන්වමින් හස්ත සංඥාවෙන් කියා ඇත්තේ එතුමා දකීවී යයි බයේ ටීවී එක වැසූ බවකි.


"ඕක දානවා අයිසේ.." හේමේ කීවේ කිසි ගානකට නැතුවය. හේමේ කියූ නිසා නැවත ටීවී එක දමා ඇතුලේ කස්ටිය ගැහි ගහී බයිස්කෝප් එක කන්ටිනයු කළාලු.


"මොකද හේම සිරි? පොස්ටර් ගහලා තිබ්බේ සිංහල චිත්‍රපටියක් ගැන නේද?" එතුමා ඇතුලට නොගොස් එලියේ සිටම අසා ඇත.


"ඔව් සර් ඒත් වෙනසකටත් එක්ක දෙමල චිත්‍රපටියක් දැම්මා..."


පසුබිම දෙමල සංගීතය, මතුපිට ඉංග්‍රීසි වැල රැපය, ව‍ටේට ගමේ නාකි සෙට් එක බව එතුමා නොදැන සිට ඇත.


Written by sAm_23.11.'11

හේමේගේ හිරේ ගිය හැටි දැනගන්න, ලයික් එකක් දාලම යන්න...
Pls keep your vote for the blog appearance.... (poll is displayed at page top right hand corner)

Friday, November 25, 2011

සෑම්ගේ අන්තිම ලිවීම...

ලගදී ඉදලා කට්ටිය දකින්න ඇති බ්ලොග් එකේ හින්දි කියමනක් තියෙනවා. "බව්වා බූරා හේ.. කන්දා පාතා නහී හේ කියලා.." මේක ට්‍රාන්ස්ලේට් කර ගන්න බැරි කට්ටිය මගෙන් ඇහුවා මොකද සෑමා සීන් එක කියලා. ඒ කතාව නොහොත් DJ බව්වා (පීටර් ගේ නම වෙනස් කළා )ගැන ලියන අන්තිම ලිවීම තමා මේ. ආයෙත් සීන් එක ගැන අහන්න එපා මේ කතාවෙන් අහවරයි.


නහී වේරේන වේරානී
සම්මන්තීද කුදාචනං
අ‍වේරේනච සම්මන්තී
ඒස ධම්මො සන්න්තනෝ

වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ
-ධම්ම පදය
(සෑමා දහම් පාසල් අවසාන ශ්‍රේණිය D 2ක් C 2ක් ගත්ත පොරක්ලු)

මේ ලගදි ෆේස් බුක් එකේ ලින්ක් එකක් ෂෙයා(ර්) කළා. ඒක www.gossiplankanews.com එකේ තිබ්බ ලින්ක් එකක්. ජැක්සන් මහත්තයා ගැන තමා ලින්ක් එක තිබ්බේ. මෙන්න ලින්ක් එක.
පොර ගහපු ස්‍ක්‍රීන් ප්‍රින්ට් එකක් පොරගේ වෝල් එකේම තිබ්බා මෙන්න
හැබැයි සිංහල යුනිකෝඩ්වත් නැහැ
(මේ පෝස්ට් එක දාලා වැඩක් වෙන එකකුත් නැහැ ඕනෙම කෙනා කියවන එකක් නැහැ)
ඒ කතාව ජැක්සන් මහත්තයාම කියපු කතාවක්. අපි කියපුව නෙවේ නේ. ඒත් මේ ලින්ක් එක දැක්ක, මගේ ලිස්ට් එකේ හිටපු DJ බව්වෙක්ට මල පැන්නා. හේතුව මොකද දන්නේ නැහැ. මම හිතන්නේ නෑදෑයෝ වෙන්න ඇති. (නැත්තම් jack-son කෙනෙක් වෙන්න ඇති) DJ බව්වා එතන ඉදන් මට චෝදනා ඉදිරිපත් කලා. ෆොටෝ එකකුත් විකෘති කරලා හදලා තිබ්බා.

  1. උඹට වැඩ නැද්ද බ්ලොග් ලියන්නේ?
  2. ගෑනි වගේ අනුන්ගේ ඒවා හොයන්නේ?
  3. මගේ කවියකට දාලා තිබ්බා දෙකට නැමිලාම හිටපන් කියලා.
  4. etc;
යුතුකම විදියට වග උත්තර කියන්නම්...
  1. උඹට වැඩ නැද්ද බ්ලොග් ලියන්නේ
    බ්ලොග් ලියන්නේ වැඩ නැති එවුන්ද? කතන්දරකාරයා ඩිග්‍රිකාරයෙක්, සමාජයේ හොද තැනක ඉන්න , රජයේ අංශයේ ඉහල රැකියාවක් කරන බුවෙක්. රාජ්ගේ නවාතැන කරන්නේ හොද ජොබක් කරන බිසී පොරක්. ඒත් ලස්සනට ලියනවා. සෑම්ගේ අඩවිය කරන්නේ IT කාපර් කෙනෙක්. සොෆ්ට් වෙයාර් ඉංජිනේරැවෙක්. අනිවාරතේ කරන්නේ අපේ කොල්ලෙක්. පේරා යුනි එකේ ඉංජිනියරින් ඉගෙන ගන්න, ජොබ් එකක් කරන ගමන් වැඩිදුර ඉගෙන ගන්න පොරක්. එතකොට ඔබ නොදුටු ලොවක්, සිතක සංකල්පනා, බුවාගේ සිතුවිලි, සිතුවිලි පවුර, සබිත්, දැනට මේ උදාහරණ ඇති. මම DJ බව්වා ගෙන් අහන්නේ මෙයාලට වැඩ නැද්ද? මටත් වැඩ නැද්ද? ඇත්තටම ප්‍රශ්නේ බ්ලෙග් කාරැවන්ට ‍වැඩ තියෙනවද නැද්ද කියන එක නෙවේ. බව්වට බැරි වුණ කාලය කලමනාකරනය කරීම අනිත් එවුන් කරනවට ඉරිසියයි.
  2. ගෑනි වගේ අනුන්ගේ ඒවා හොයන්නේ?
    ගෑණු වගේ අනිත් එවුන්ගේ ඒවා හොයනවා කියන්නේ, තමන්ගේ අම්මා තමන් ගැන හොයන නිසාද?  වෙලාවට DJ බව්වා ඒ කාලේ හිටියේ නැත්තේ. "අයිසැක් නිව්ටන්ටත් වැඩ නැහැ අපරාදේ ගෑණිවගේ ඇපල් ගෙඩි පස්සෙ පන්නනවා". "ආකිමිඩිස්ට පිස්සු ගෑණිවගේ රජාගේ ඔටුන්න පස්සේ ගිහින්, උඩුකුරැ තෙරපුම ගැන හොයා ගත්තා"... මේ ටිකත් ඇති නේද? DJ බව්වා ඒ කාලේ හිටිය නම් නිව්ටන්ලා, ආකිමිඩිස්ලා ඒ කාලෙම බ්ලොග් හදාගෙන DJ බව්වා ට විරැද්ධව මේ වගේ පෝස්ට් දානවා.
  3. මගේ කවියකට දාලා තිබ්බා දෙකට නැමිලාම හිටපන් කියලා.
    මම දැම්මා ඩුම්මගේ සූදුව කියලා පෝස්ට් එකක්. ඒකේ පළවෙනි විරිදුව කමින් කෑල්ලක් විදියට දාලා තිබ්බා ෆේස් බුකියේ.

    පළමුව ඔබ දුන්න "කමෙන්ට්" සිහිකරගෙන බ්ලොග් ගුණ කද
    දෙවනුව නුඔ දාපු "ලයික්" මෙනෙහි කරලා මෙන්න වැන්ද
    තෙවනුව "ෂෙයා(ර්)" කෙරැවට වැන්ද නැමිලා පින් දී සොද
    පබ්ලිෂ් කරනව ඩුම්මගෙ සූදුව කවියෙන් මම කර ප්‍රබන්ධ

    ** මෙන්න මේකේ නැමිලා වැන්දා කියපු එකට තමා බව්වා කමෙන්ට් කරලා තිබ්බේ දෙකට නැමිලම හිටු කියලා. අපි නැමෙන්න ඕන වෙලාව දන්නවා. ඒ වැඩිහිටියෙක්ට වදින්න, එහෙම නැත්තම් උවමනා වෙනත් වැඩකට. බව්වා කියන නැමිල්ල වෙන එකක් වෙන්න ඇති. බව්වන්ට මග තොටේ වෙන අතවර ගොඩයි නේ.
  4. etc;
    DJ බව්වා කෙනෙක් එක්ක වුණත් හැප්පෙන සීමාවක තියෙන නිසා මගේ ෆේස් බුක් එකේ තැන තැන ජරා කරන නිසාත් මම DJ බව්වා block කලා. block කිරීමෙනුත් DJ බව්වා උද්දාමයට පත්වෙලා හිතලා තියෙන්නේ මම facebook account එක deactivate කරලා කියලා. (DJ බව්වා බ්ලොක් කිරීම නොදනී) උද්දාමයෙන් දාපු ෆොටෝ එක මෙන්න.
Deactivate කළා කියලා තමා ෆොටෝ එකේ තියෙන්නේ. බව්වා block කරන සීන් නොදනී
block කලාටත් පස්සේ පාළු ගෙදර වලං බිදනවා වගේ DJ බව්වා මඩ ගසා ඇත. මට තව හින්දි පිරැළක් මතක් වුණා. අනේ මන්දා මන මෝහන් සිං මහත්තයා මාව උස්සයිද දන්නේ නැහැ.
"ලූලා නහී හේ, කන්යා පණ්ඩිත් ජී හෝතාහේ"

මේ ඇති. ආයෙත් බව්වා ගැන කතා නැත. ඒ පහත ධම්ම පදයේ එන ගාථාවට අනුවය.

වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන් වෛරය සන්සිදේ

කසල සිත අසල කසල මිස කුසල නැත. රස දන්නා සැම, "සෑමා" සමගය. 
ඔබට පිං.

ධාර්මිකව ලීවේ "සෑමා" නොවැම්බර් 25, උදෑසන 12.35
(වැඩ නැද්ද මන්දා මූට මේව ලියන්නේ??)
DJ බව්වා ගැන ‍නැවත නොලියන සතුටට ලයික් එකක් දාලා යන්න.. ලොල්..

Wednesday, November 23, 2011

දෝදුගේ සිහිනය..

උදේ ඉදන් හවස් වෙනකල් අපි කරන කියන දේවල්, හිතන දේවල් රෑට හීන විදියට පේනවාලු. ඒත් අපි නොහිතපු, නොකරපු දේවල් පවා පේන්නේ ඇයි කියන එක ගැටළුවකි. සමහරක්ට පේන සමහර හීන වැඩිහිටියන්ට පමණයි කියලා ලේබල් ගහන්න පුළුවං ඒවාය. අනික ඒවා ටීවී එකේ පෙන්නුවොත් කොටු දාන්න සිද්ධ වේ. සිහින දෙව්දුවේ.. ‍සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්.. වගේ සිංදු වලින් පටන් අරගෙන සිහින පාරාදීසයේ වෙනකල් සිංදු නම් කීයක් ලියවෙන්න ඇත්තද හීන ගැනම. ඒ හැම හීනයක්ම අතරේ එකිනෙකාට ආවේනික වෙච්ච හීනත් තිබේ.

ඒලෙවල් ඉහලින්ම පාස් වෙන් ඕනේ කියන හීනේ එක්ක අපි පාඩම් කරන්න සෙට් වුණේ විභාගයට මාස කීපයක් ඉදිරියේදීය. මුලින්ම අපි පුෂ්පේ ගේ ගෙදර සෙට් වුණෙමු. කෑම බීම කිසි අඩුවක් නැතිව ලැබුණ නිසා දෝදුවා (කෘතිම වැස්සේ ප්‍රධාන චරිතය - දෝදුවා කීවාට අහිතක් හිතන්න එපා. අපි ඉස්කෝලේ යන කා‍ලයේ කරපු වැඩ වල ප්‍රථිඑලයක් විදියට පොර දෝදුවා වීය. එහෙත් පොර දෝදුවා නොවේ දෝදු කුමාරය) ආවේ කෑම ටික කාලා ටිකක් වෙලා පොතක් පෙරලලා නින්දක් දාන බලාපොරෙත්තුවෙන් පොත් අරගෙනය. පුෂ්පේට නම් කිසිම අවුලක් නැත. පොර ගෙදර වගේ නිදිය. මාත් වටපිට බලලා නිදාගන්නේ මුන්ට එපා නම් මට මොකෝ කියාය.


"මේක හරි යන්නේ නැහැ බං, මට ගෙදර නිසා පැලෙන්න නින්ද යනවා" පුෂ්පේ බැරිම තැන කීය.


"එහෙනම් අපේ ගෙදර සෙට් වෙලා පාඩම් කරමු" දෝදුවා විසදුමක් දුන්නේය. පසුදින සිටම අප සෙට් වූයේ දෝදුවාගේ ගෙදරය. 


දෝදු ගේ නිවසට ආසන්න හන්දියේ අපේ තව මිත්‍රයෙකුගේ නිවසක් තිබේ. පොර හර්ෂකය. හර්ෂක කලේ කොම(ර්)ස් නිසා අපිත් එක්ක පාඩම් කරන්න සෙට් වුනේ නැත. ඒත් දෙවෙනි පාර ‍ඒලෙවල් කරනකොට දෝදුවා කොම(ර්)ස් කරන එවුන් එක්කම සෙට් වෙලා මැත්ස් පාඩම් කළාලු. බලන්න දෝදු නැද්ද කියලා. 


හර්ෂගේ පියාට තට්ටු තුනක වෙළද ස්ථානයක් ඇත. එහි උඩම තට්ටුවට නැග්ග විට අප‍ට කැළණි ගග හොදින් දිස්වේ. ගං වතුර කාලෙට හර්ෂකලාගේ ඉඩමම වතුරෙන් යට වේ. ඒ කාලෙට දෝදුවා රැදෙන්නේ හර්ෂකලාගේ නිවසේය. දෝදුවා ‍ගෙදර යන්නේ ගංවතුර අහවර වී තැඹිලි, පොල් කෝම්බ ඉවත් කර ඩෙංගු මර්ධනය කිරීමෙනුත් පසුවය.


සුපුරැදු පරිදි අපි දොදුවගේ නිවසට සෙට් වුණේ පාඩම් කරන්නටය. ප්‍රක්ෂිප්ත ගණන් කීපයක් හදාගෙන යන විට නොදැනීම රෑ විය. දෝදුගේ පොතේ අකු‍රැ බොද වෙන්නට විය. පුෂපේ ගේ ඔළුව පොතට පාත් වෙන්නට විය. මගේ ඇස් දෙපැත්තට යන්නට විය.


"හරි යන්නේ නැහැ බං දැන් ඇති" බැරිම තැන දෝදු කීය.


"ඇයි බං අපිට මේ කාලෙටම නින්ද යන්න එන්නේ? බලපං ඕලෙවල් ඉවර වෙලා ගෙදර හිටියා නින්ද යන්නේ නැහැ. දැන් යකෝ බොක දාන්න ඉදගත්තත් නින්ද යනවා"


"ඒකට තමා බං කරැමේ කියන්නේ. ඔන්න ඔහේ නිදා ගමු බං" මම කීවේ ඉන්නම බැරි තැනය.


"හරි බං ඔය පැදුරැ දෙක දාලා ඇල වෙමු. බෙඩ් ෂීට් ටිකත් ගනින්" දෝදුවා නිදා ගැනීමේ පසුබිම සකස් කලේය. දෝදු මැද නිදා ගත්තේ පුෂ්පේ සහ මාව දෙපැත්තට දමමිනි.


නිදාගෙන පැය තුනක් යන්නට නොලැබිණි. කවුරැන් හෝ ඇවිදින්නට ගොස් මගේ කකුල් දෙකේ පැටලෙනු මට දැනින. මම තිගැස්සී කළුවරේම ඇසුවේ කවුද කවුද කියායි. දොදුවාද එහා පැත්තේ නැත. බැලින්නම් ඒ දෝදුය.


"ඇයි බං උබ හීනෙන් ඇවිදිනවද?" මම ඇසීමි.


"මොනවද උඹ ඔය තුරැල් කරන් යන්නේ" දෝදු තවත් යමක් තුරැල් කරන් යනු දුටු මම නැවත ඇසීමි. පොර සද්ද නැත. ඉස්සරහ දොරින් ගියේය. ඉන්පසු ඇහුනේ ටැප් එ‍කේ සද්දයයි. වටපිට බැලූ මට පෙනුනේ පොරගේ බෙඩ් ෂීට් එකත් අතුරැදහන් බවයි.


නැවත දෝදු එන තුරැ සිට මම ප්‍රශ්න වැලක් ඇසීමි.


"කොහෙද බං ගියේ?"


"මම නරක හීනයක් දැක්කා බං" දෝදු කී මුත් මුහුණින් බය වුණ පාටක් පේන්නට නැත.


"ඒ මොකක්ද බං ඒ? උබ රිසල්ට් ෂීට් එකවත් දැක්කද? බෙඩ් ෂීට් එකත් තුරැල් කරන් ගියේ?" මට හිනා යන්නට ඔන්න මෙන්නය. මම පුෂ්පෙයාද ඇහැරැවේ දොදුගේ කතාවට සාක්ෂිකරැවෙක් අවශ්‍යය නිසාය.


"නැහැ බං මම දැක්කා හීනෙන් හර්ෂකයයි මමයි උන්ගේ උඩ තට්ටුවේ ඉන්නවා" දෝදු ස්ටෝරිය ඇඹීය. හරියට එෆ්.එම් එකක සිහින මන්දිරේට කතා කළා වගේය.


"මායි හර්ෂකයයි උන්ගේ උඩම තට්ටුවේ හිටියා බං ගග දිහා බලාගෙන, හර්ෂකයා මට චැලෙන්ජ් කලා බං එහා පැත්තෙන් පේන ගගට වැටෙන්න චූ කරන්න පුළුවන්ද කියලා අහලා"
ගගට වැටෙන්න චූ කරන්න පුළුවන්ද???
"ඉතිං ඉතිං..." කථාව ආතල් බව වැටහුණු අපිට ඉවසුම් නැත.


"මාත් හා කිව්වා මචං.. හර්ෂකයා ඉස්සෙල්ලම චූ කළා. මම ඊට පස්සේ ඊටත් වඩා දුර චූ කළා... හර්ෂකයා ආයෙත් දැම්මා..මාත් ඊට වඩා දුර දැම්මා ට්‍රයි කරලා... ඒත් ගගට වැටුනේ නැහැ.." දෝදු දැක ඇත්තේ චූ හීනයකි.


"මගෙ අ‍ප්පෝ බං ඔහොමත් තටමනවද? තොගෙ මුත්‍රා බොක්ක පැලුනනම්??" පුෂ්පේ කීය.


"හිටපං කෝ කියනකල්.. ඊට පස්සේ හර්ෂකයා ආයෙත් දැම්ම.. ඊට පස්සේ මම දැම්මා බං ගගටම.." දෝදුවා ආඩම්බරෙන් කීය.


"අඩෝ.. මීටර් 300ක් විතර දුරැ උබ දැම්මා.. උඹ ඒලෙවල් ලියන්න එපා බං.. වත්තේ මල් පැල වලට වතුර දාපං.." මම කීවෙමි.


"ඒත් උබ ඇයි සෑම්වත් පෙරලගෙන එලියට පැන්නේ" පුෂ්පේ වැදගත් ප්‍රශ්නය ඇසීය.


"නැහැ බං මට එතකොටම ඇහැරැණා බලනකොට මම බෙඩ් ෂීට් එක පිරෙන්න චූ කරලා..උබලා ඇහැරෙන්න කලින් හෝදලා දාන්න ගියා."


එක අතකට අපි කරන කියන දේවල් හිතන පතන දේවල් හීන විදියට පේනවා කියන්නේ ඇත්ත විය යුතුය. දෝදුගේ සිහිනයට කලින් පොර හර්ෂකලාගේ ගෙදර ගියේය. රෑ පාඩම් කලේත් ප්‍රක්ෂිප්ත පිළබදවය. අංශක 45ක් ආනතව සිදුකරන ප්‍රක්ශේපනයක් එම වේගය යටතේ උපරිම දුරක් ගමන් කරන න්‍යාය දෝදුගේ සිහිනයට එක් වන්නට ඇත.


දෝදු කොම(ර්)ස් නොකරපු නිසා මුත්‍රා සිහිනය ජයගත්තේය...
උපදෙස- බැරි වුණත් සයන්ස් කරපල්ලා..
Written by sAm_4.00pm_23.11.'11

වැදගත්- මේ කතාවේ ලියවුණ හැම චරිතෙකෙම ඉන්නේ නියම කොල්ලෝ ටිකක්. ‍සමහර කතා බලපු වෙනස් ජාතියේ කොල්ලන්ට තද වෙලා, සෑමා ලියන්න ගිහින් කතන්දර අහගත්තා. ඒ නිසා දිරවන්න බැරි අය කියවන්න එපා කියන්න තමා තියෙන්නේ. ඒත් රසිකත්වයක් තියෙන උදවි‍යගේ බකප් එක නිසා තමා ලියන්නේ.


**මට හින්දි කියමනක් මතක් වුණා "බව්වා බූරා හේ.. කන්දා පාතා නහී හේ..." පුළුවන්නම් ට්‍රාන්ස්ලේට් කරගන්න.

Tuesday, November 22, 2011

ධර්මේ සහ කැරම් බෝඩ් එක...

රැම් උස්සපු ධර්මේ නොහොත් ඔට්ටුව පැරදුනු ධර්මේ ක්‍රිකට් සෙල්ලම් කලේත්, කැරම් ගැහුවේත් අප සමගය. ගමේ මලගෙදරක ගියොත් ගොඩාක් වෙලාවට මට ‍එහිදී ධර්මේ මුණ ගැසේ. ඒ දවස්වල මල ගෙදරක ගියොත් මම යන්නේ ධර්මේ සමගය. ඒ ධර්මේ සමග එක පැත්තේ හිදගෙන කැරම් ගැසීමේ අවශ්‍යතාවය නිසාය. ධර්මේ සමග හිද අප දිනූ වාර අනන්තය. බොහෝ මලගෙවල්වල අප කැරම් බෝඩ් එකට සෙට් වුණහොත් නැගිටින්නේ ගෙදර යන්නට අවශ්‍යය නිසාය. නැතිනම් තමන්ට වාරයක් එනකල් බලා සිටින එවුන් ගැන දුක සිතීය. එහෙම නැගිට්ටේ නැත්තම් වටින් පිටින් ඇහෙන කතන්දර අසා සිටිය නොහැක. දවසක් එකෙක් කීවේ මුන්දෙන්නා නිදාගන්නේත් කැරම් බෝඩ් එකේ වෙන්න ඇති කියාය. අපේ ගමේ නමක් දිනා සිටි මන්නා සහ උපාලි යන දෙදෙනා සමග කැරම් ගසා දිනන්නට ලැබීම ධර්මේ සහ මා ලැබූ විශාල අභිමානයකි. එදා එහි සිටි කිසිවෙකුට ඔවුන් දෙදෙනා නැගිට්ටවීමට නොහැකිව සිටි මොහොතක ඔවුන් පරාජය කිරීම මතක් කරනකොටත් විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිය.

ඇත්තම කිව්වොත් මගුල් ගෙවල් වලට වඩා මල ගෙවල් වල යාමට මම කැමතිය. එයට සාධාරණ හේතු කිහිපයක් මම දක්වමි. මල ගෙදර කරන්නට කැරම් හෝ ඕමි ක්‍රීඩා ඇත. මගුල් ගෙදර ඇත්තේ කට ඇරගෙන එක එකා දිහා බලා සිටීමටය. වැඩිම උනොත් ‍පොඩි ෂොට් එකක් දාගෙන කස්ටිය එක්ක නැටීමටය. ක්‍රීඩාවක් කියා දෙයක් නැත. ක්‍රීඩා සියල්ල භාරව ඇත්තේ මනාල යුවලටය. අවාසනාවකට එම ක්‍රීඩාව නැරඹීමට සෙස්සන්ට අවකාශ නොලැබේ. මලගෙදරක යාමට ෂෝටක් සහ ටී ෂර්ට් එකක් සෑහේ. ඒත් මගුල් ගෙදරක යාමට ටයි, කෝට් ‍නැතොත් අවම වශයෙන් නැෂන්ල් කට්ටක් වත් අවශ්‍යය. වැඩිදුරටත් මොණරැ කිහිපයක් බහාලූ කවරයක් වුවමනාය. උක්ත කාරණා සියල්ලට අමතරව ෂෝටක් ගසාගෙන, කැරමක් ගහන ගමන්, නියිස් බිස්කට් එකක්, ටිකිරි මාරි එකක්, සැමන් පාන් කෑල්ලක් කන ෆන් එක මගුල් ගෙවල්වල නැති වීම ඛේදනීය තත්වයකි. සියළු කාරණා සලකා මගේ වෙඩින් එක අලුත් ආරකට කරීම මගේ කැමැත්තයි.


බොහෝවිට මල ගෙවල් වල ඔමි ගහන එවුන් ගෙවල් වල එන්නේ කැට කොල 5ක් වත් සාක්කුවේ දමාගෙනය. ඒවා මතුවෙන්නේද ඇදුම් හෝදන්නට වතුරට දැමූ අවස්ථාවලයි. මට මතක විදියට අපි ඕලෙවල් කරන කාලේ අපේ කොල්ලෙක් හාරත කැට කොලයක් උඩ සාක්කුවේ තිබියදී යුනිෆෝම් එකේ සෝදා හාරත මා(ර්)ක් එක සාක්කුවේ සටහන් වී තිබිණ. ඒ සිදුවීම වුනේත් ඩුම්මගේ සූදුව සිදුවුණ වකවානුවේය.
මල ගෙදර කැරමක් ගහන සැප මගුල් ගෙදර නැත
අටුවා ටීකා අහවර වූ තැන ධර්මේගේ ස්ටෝරියයි.


සෑම්ගේ මතකය නිවැරදි නම් ඒ 2003 වසරයි. අපි වෑන් එකක් ලෑස්ති කරගත්තේ කුරැණෑගල ප්‍රදේශයේ මලගෙදරකට යාමය. මලගෙදර වුණත් දුර ප්‍රදේශයක් නිසා බොංගෝ එකක්, ගෙනයාම සිරිතයි. මලගෙදරින් බහින කොට කරන්නේ බොංගෝ එක සීට් එකක් යට සැගවීම පමණි. නැත්තම් මලගිය ඇත්තෝ විස්සෝප වේ.


අපේ ගමේ අයියා කෙනෙක්ගේ නැන්දම්මා ගේ මලගෙදරක් නිසා වැඩිහිටි ජනතාව පවා ගමනට සූදානම් වී සිටියහ. කලින් ප්ලෑන් කළ පරිදි ගමනට නම් ලබා දී තිබ්බේ අපේ ධර්මේ මලයාත් ඇතුලුව 12ක් හෝ 15කි. නමුත් වෑන් එක ගමන පිටත් වන ස්ථානයේ පා(ර්)ක් කල සැනින් ගෙවල් වල අත්තලා මුත්තලා ‍සියල්ල වට වූ නිසා කොල්ලන්ගේ බලාපොරෙත්තු සුනු විසුනු විය. නමුත් ආ පිරිස රැගෙන ගිය යුතුය. සෙනග මදිවට ඔවුන් ඇවිත් තිබ්බේ දවස් තුනක ට්‍රිප් එකක් යන්නට මෙන් කොට්ට, පැදුරැ රැගෙනය. අපට කටඋත්තර නැත. කෙසේ හෝ කස්ටිය වෑන් එකට කම්ප්‍රෙස් කළ යුතුය.


"හරි කස්ටියම ඇවිත් නේද ඉන්නේ? තව එන්න කස්ටිය ඉන්නවනම් දැන්ම කෝල් එකක් දීලා කියන්න එන්න එපා අපි ගියා කියලා. නැත්තම් ලොරියක් ගේන්න වෙයි" නඩේ ගුරෙක් අවසාන නිවේදනය ප්‍රකාශ කළේය. එසේම කස්ටිය පැක් කිරීමේ වගකීම පොරට ඉබේම පැවරිණ. ඇත්තටම ඔහු දක්ෂ ප්‍රයිවට් බස් කොන්දොස්තර වරයෙකි.


"හරි. අපි කොල්ලෝ ටිකට කොහොම හරි යන්න පුළුවන්නේ. අංකල්ලා, ඇන්ටිලා, සීයලා ඉස්සෙල්ලාම නගින්න" පොර විසින් පිළිවෙලට වැඩිහිටි තරැණ කැල වෑන් එකේ අන්තිම සීට් එකේ සිට පැක් කෙරිණ. අන්තිම සීට් එක අහිමි වුණා කියන්නේ ගිහින් එකතුරැම ෆන් නැත. ගෙදර එන්න වෙන්නේ තුන් සරණේ කියාගෙනය.


"හරි මල්ලිලා දැන් ඔයාලා නගින්න. උබලට නම් අවුලක් නැහැනේ බං කොහොම හරි රිංගපං" කීවේ නිර්නාමික නඩේසන් අයියාය.


"කොහෙ නගින්නද අයියේ?? කෝ අපේ ධර්මේ මලයා... පොර නැතුව කොහොමද මල ගෙදරක යන්නේ.." ධර්මේ තවමත් පේනන නැති නිසා අපිත් එළියට වී සිටියෙමු.


"ඕකා නැත් එකම හොදයි බං. බලපං දැන් ඕකත් ආවොත් කොහෙද යන්නේ?" වෑන් එකට නගින්නට තියා හිතා ගන්නවත් බැරිව රැගෙන ආ ගමන් මල්ලක් උඩ හිදගෙන සිටි වීරේ කීවේය. (මතකනේ ධර්මේගේ කලිසම ගලවපු එකා)


"අනේ මන්දා බං. මොකද දැන් කරන්නේ? අ‍පි අපේ සුනිලට එන්න කියමු වාහනේ අරන්. නැත්තම් මෙහෙම ගියොත් එකෙක් මග මැරෙයි හිර වෙලා.."


සියළු සාකච්චාවන් සිදුවූයේ ඉඩකඩ අහේනිය පිළිබදවයි. ධර්මේ ආවත් කරන්න දෙයක් නැත. කොහොමත් යන්නට ඉඩ නැත. ඒත් ටික මොහොතකින් ධර්මේ මතුවිය...


"අඩේ කොල්ලනේ මලගෙදර ගිහින් පට්ට ෆන් එකක් ගමු.. " ධර්මේ ෆන් එකක් ගන්න මල ගෙදර යන්න ඇවිත්ය. ඒ මදිවට අතේ හොදට පත්තර පිටුවලින් කවර් කරපු විශාල ප්‍රමාණයේ හරි හතරැස් ලෑල්ලකි.


"මොනාද ධර්මේ මේ? අපි මේ මලගෙදර යන්න තියා වෑන් එකට නගින්න ඉඩ නැතිව ඉන්නවා. තෝ ඒමදිවට අලි ඇදක් වගේ ලැල්ලක් ගෙනත්"


"උබලා දැන් මට බැන්නට මලගෙදර ගියාම මේකේ වටිනාකම තේරෙයි." ධර්මේ පොල් ටෝක්ස් දෙන්නට විය. මතකනේ පොර ඔට්ටුව අල්ලා වේච්ච දේ.


"හරි හරි කියපං මොනාද ඕකේ" ධර්මේ ගැන දන්නා මම ඇසීමී.


"නැහැ බං අපි දැන් යන්නේ කුරැණෑගල. කවුද දන්නේ අපිට වුවමනා කරන හැම දේම මල ගෙදරින් දෙයි කියලා. ඒක නිසා මම කැරම් බෝඩ් එකක් පාර්සල් කර ගත්තා අපිට ගිහින් සෙල්ලම් කරන්න..."


"මෙයා මේ $$%$^* කතා කරනවා. අපි මේ නැග ගන්නවත් බැරැව ඉන්නවා. අපි මලගෙදර යන්නම් කොහොම හරි උබ මෙතනට වෙලා අපි එනකල් කැරම් ගහපං..." මල පැනපු නඩේසන් අයියා කීවේ තව ඇඩිෂනල් වචන කීපයක් සමගය.


එදා ඉදන් ධර්මේ ට්‍රිප් එකක් යන්න ආවත් කොල්ලෝ අහන්නේ කැරම් බෝඩ් එක බෑග් එකේද කියාය.


Written by sAm_11.30am_21.11.'11


පලි- මොනවා උනත් ධර්මේගේ චින්තනය නිවැරදිය. ‍ධර්මේ ඒ කාලේ පොඩි එකා වුණත් කාටවත් හිතෙන් නැති දෙයක් පොරට හිතුණි. "කවුද දන්නේ අපිට වුවමනා කරන හැම දේම මල ගෙදරින් දෙයි කියලා..." කීවේ ඒ නිසාය. ධර්මේගේ ඒ පෙර සූදානම තවමත් ඇත. කොහේ හෝ යන්නට පිටත් වෙන්නට පෙර ධර්මේ බෝතල් ටික කලින්ම සූදානම් කරගනී.


ධර්මේ දුර දිග හිතන දැහැමි දරැවෙක් බව හිතේ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දමා ඔහුට උත්තමාචාරය පුදන්න..

Monday, November 21, 2011

ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා

මේ දවස් වල හැම බ්ලොග් එකකම සැරට යන ටොපික් එක දේශපාලන සංවාදලු. "සෑමා" ඒ ඔක්කෝටම ඇටෙන්ෂන් එක දීගෙනම හිටියලු. "සෑමා"ගෙන් දෙතුන් දෙනෙක් ඇහුවෙත් ඇයි ඒ ගැන මුකුත් ලියන්නේ නැද්ද කියලලු. සෑමා ටිකක් කල්පනා කෙරැවලු. උණු හින්ද බොන්නත් බැහැලු. කැද හින්දා අහක දාන්නත් බැහැලු. ලිවීමේ නිදහස ගැන කියන්න ගිහින් අමාරැවේ වැ‍ටෙන්න ඕනෙත් නැහැලු. "සෑමා" start-no-චිත (ස්ථානෝචිත) ප්‍රඥාව යූස් කරලා හොයා ගත්තලු සිංදුවක්.

යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇණ ඇගිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරදනම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

කකා බිබී නටන අතර නරැම යහළු යෙහෙලියන්
පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
රට ගිණි ගෙන ඇති වග දුටු මගේ එකම පුතණුවන් 
එ ගිණි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්

ගිණි ගන්නා රටක කෙළින මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරැවෙකි සිරගෙයි මල මගෙ පුතුන්
කෝටි ගණන් බිහිවේවා මගේ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ලග උතුම්
ගායනය- නන්දා මාලනී

පද රචනය - සුනිල් ආරියරත්න
කාලීන පෝස්ට් එකක් (ඉල්ලපු නිසා) දැම්මේ "සෑමා" 3.15pm_21.11.'11
ඇත්තටම "සෑමා" ලිව්වේ නැහැ - හිතන්න දෙයක් ඉතුරැ කළා

පලි- කතා කලේ දේශපාලනය නොවේ. මනුස්සකම ගැනය. බහුතරයක් තම උපන්දිනය සමරන්නේ අසරණයන්ට දානයක් දීමෙනි, අහිංසක සතෙක් හෝ නිදහස් කරමිනි. එදිනට කාගෙන් හෝ පුංචි හෝ දොසක් ඇසෙන අවැඩක් නොකරන්නේ මනුස්සකම නිසාය.

Sunday, November 20, 2011

හේමේ ගේ සේලයින් සහ ධර්මේ ගේ ජොකා....

පොර හේමසිරිය. අපේ ගමේ නම ගිය ඉලෙක්ට්‍රොනික අපරාධකාරයෙකි. රේඩියෝ හා බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී අලුත් වැඩියා කිරීමේ හසල දැනුමක් ඇති අපේ ගමේම අංකල් මාමා කෙනෙකි. හේමේ රැදී සිටින ඕනෑම ස්ථානයක් හදුනා ගැනීමට පහසුය. ඒ ඔහුටම පමණක් සුවිශේෂී වූ කට හඩ නිසාය. සමහරැ කියන්නේ ඔහුගේ ක්ෂේත්‍රයට කදිමෙට ගැලපෙන පරණ වෑර්ලස් වොයිස් එකක් ‍හේමේට තිබෙන බවය.


හේමේ ගේ පියාද ඒ කාලේ ගමේ හිටපු සුපිරි ඉලෙක්ට්‍රොනික් වැඩ්ඩෙකි. පියාගේ අභාෂය ලද ඔහුත් පසු ‍‍කලෙක ශිල්ප දැක්වූ හේමේ, වර්ථමානයේ වර්ණ රෑපවාහිනී, LCD හා LED තාක්ෂණය හමුවේ මුලුගැන්වී ඇත. නමුත් ඔහු තවමත් ඉද හිට  හෝ ගමේ තෝරාගත් පරිසකගේ පමණක් වර්ණ රෑපවාහිනී අළුත් වැ‍ඩියාවේ යෙදෙන්නේ සැර බීම ජාතියක් බීමට ගතමන්ට් එක සොයාගැනීමටය. ඔහුට කිසිදාක කෑම අහේනියක් නැත. ඒ අතින් ඔහු වර්ථමානයේ සීවලීය. හේමේ නැවතී සිටින්නේ අපේ ගමේ ලොතරැයි අලෙවි නියෝජිතයෙකුගේ නිවසේය. එහි යනෙන ටිකට් විකුණන බයිසිකල්කරැවන්ගේ ඈම්ප්, මයික්, සෙටප්, හා ස්පීකර් අළුත්වැඩියා කිරීමෙන්ද හේමේ ගතමන්ට් එක සපුරා ගනී. ඒ අතර වත්තේ හිටවූ එළවලු නිසාද කෑම වේල සරි කර ගත හැක.


ඉස්සර මගේ මොනිටර් එක කැඩුණත් මම වැඩේ භාර කරන්නේ හේමේටය. දවසක් පොර මට කීවේ කේසින් එක ගලවලා ස්ටූල් එකක් එළියෙන් තියලා  (ඇස් පේනවා හොර නිසා)  ඒක උඩින් මොනිටරේ  තියන්න අනිවාර්යෙන්ම  එදා හවස මොනිටරේ හදන්න එනවා කියාය. එහෙම කියලා ගිය හේමේ මොනිටරේ හදන්න ආවේ සතියක් පමණ ගිහින්ය. ඒ‍ත් හේමේ වැඩ්ඩා නිසා අප්‍රමාදෝ අමතපදං නොවේ.


හේමේ ගේ මතට තිත තැබීමට හේමේ නැවතී සිටින නිවසේ හිමිකරැ මහත් වෙහෙසක් දරයි. නමුත් ඵලක් නැත. නිවසේ හිමිකරැ හේමේගේ බීමට බනින නිසා හේමේ කරන්නේ ෂර්ට් එකට යටින් සරම අස්සෙන් බියර් බෝතලය ගසා ගැනීමයි. එසේ ගසාගෙන ගම පුරා ඇවිදමින් එකම බෝතලය රී ලෝඩ් කරමින් බෝතල් දෙකක් හෝ තුනක් අහවර කිරීම පොරගේ චර්යාවයි. ‍හේමේ බෝතලය පිටේ ගසාගෙන කිසිම ගින්නකි නැතිව ඇවිදිනු අප දැක ඇත. එක දවසක් පොර බෝතලය පිටේ තියෙද්දීම මගේ මොනිටරය හැදුවේය.


මම එදා ඇහුවේ අංකල් සේලයින් බෝතලේ පිටේද ගහගෙන ඉන්නේ කියාය.


ගමේ බහුතරයක් දන්නා සුලුතරයක් නොදන්නා හේමේගේ සේලයින් බෝතලේ කතා ගොඩක් ඇත. බෝතලේ පිටේ තියෙන නිසා අපි අනන්තවත් හේමේව අපහසුතාවයට පත්කරන්නට උත්සාහ කර ඇත. නමුත් බොහෝ අවස්ථාවල අපම බයිට් වී ඇත.


දවසක් මම හන්දියේ කඩේට ගොස් අතින් කටින් බඩු මලු එල්ලාගෙන ගෙදර එන විට හේමේ සේලයින් පිටේ ගසාගෙන ඈත එනු දුටිමි. පොරව සේලයින් වලින් නෑවීමට සිතා මම අතේ තබ්බ පර්ස් එක හේමේට පේන්නම බිම දැම්මෙමි.


"අනේ අංකල් පර්ස් එක වැටුණා අහුලලා දෙන්න කෝ" හේමේ පාත් වුණ විට පිට දිගේ බියර් බෝතලේ හලා ගනීවි යයි හැගීමෙන් මම කීවෙමි. හේමේ කිසි ගින්නක් නැතිව පහත් වී මට පර්ස් එක අහුලා දුන් විට මට කටඋත්තර නැති විය. බැලින්නම් පොර පිටේ ගසා සිට ඇත්තේ මූඩිය නොකැඩූ බෝතලයකි.


හේමේ බොහෝ විට අපේ ගෙදරට එන්නේත් සේලයින් පිටේ ගසාගෙනය. එවිට පොර වාඩිවෙන්න කියා පුටුවක් දුන්නත් වාඩි නොවෙන්නේ බෝතලය පිටේ තිබියදී කොන්ද නැවීමට අපහසු නිසාය. 


හේමේගේ සේලයින් බෝතලේට ගේමක් දෙන්න අපිට බැරි වුණ තැන දවසක් අපේ ධර්මේ හේමේ සමග ඔට්ටුවක්ද ඇල්ලුවේය.


"අංකල් පුළුවන් නම් මං කරනදේ කරනවාද?"


"හරි පුතා මොනවද කරන්න ඕනේ.." ෂොට් එකක් දාලා හිටපු හේමේ ගානක් නැතිව ඇසීය.


"අංකල් පුලුවන් නම් පාත් වෙලා කකුලේ මාපට ඇගිල්ල අල්ලන්න" හේමේට කරන්න අමාරැම වැඩේ ධර්මේ කරන්නට කීය.


"හරි කලොත් මට මොනවද දෙන්නේ?" 


"100ක් දෙනවා" ධර්මේ කීය


"හර්ර්ර්.. ඔන්න ඇල්ලුවා" හේමේ පාත් වුණද බෝතලේ බියර් බිංදුවක් වත් හැලුනේ නැත. කලින් උගත් පාඩම මට යලිත් මතක් විය. ධර්මේට කට උත්තර නැත. එත් ධර්මේ වැඩේ අත හැරියේ නැත.


"හරි අංකල් තව 100ක වැඩක් තියෙනවා ඒකත් කලොත් 200ක් හම්බෙනවා" ධර්මේ තව පොටකට අර අදී.


"හ්ම් ඒ ගමන මොනද??"


"අංකල් පුළුවන්නම් සරම කඩලා දෙපැත්තට අත් දෙකෙන් ඈත් කරලා ආයෙත් ඇදගෙන පෙන්නන්න" මේ පාර ධර්මේ සාර්ථක ඉල්ලීමක් කලේය. අනිවා අංකල්ට සොරි වෙනවා ඇත. සරම කඩලා දෙපැත්තට ඈත් කළ විට අනිවා බියර් බෝතලේ සරාස් ගා බිම වැටෙනු ඇත.


"හරි පුතා 200 ලෑස්ති කර ගන්න" හේමේ ගේ රිප්ලයි එකට ධර්මේ පමණක් නොව මාත් හොල්මන්ය. හේමේ කිසි ගින්නක් නැතුව සරමද කඩා ඇදගෙන පෙන්නුවේය. ධර්මේ පරාදය.


රැපියල් 200 දෙන ගමන් ධර්මේ හේමේගෙන් බෝතලේ නොවැටුන හේතුව අසන්න‍ට අමතක නොකලේය.


"ඇත්තටම අංකල් ඇයි බෝතලේ වැටුනේ නැත්තේ?" 


"ඇයි පුතා සරමට යටින් මම ‍ජොකෙක් අදිනවනේ. ඒකේ ඉලාස්ටික් එකට තමා බෝතලේ හිර කරන් ඉන්නේ" ධර්මේට ජොකා මතක් වුණේ එතකොටය.


හේමේ ඒ කියා නැවතුනේ නැත.


"ඇයි ධර්මේ කොලුවෝ උබ ජෙකා අදින්නේ නැද්ද??"


ඉලාස්ටික් එකට තමා බෝතලේ හිර කරන් ඉන්නේ
Written by sAm_7.15pm_20.11.'11

පලි- හේමේගේ කථා තව තියෙනවා. 

  1. හේමේගේ අතීතය (බයිස්කෝප් හේමේ)
  2. හේමේ පොලිසියෙන් පැන්න හැටි
  3. ධර්මේ සහ කැරම් බෝඩ් එක (කලින් "රැම් හොරැ ඇල්ලීම.." පෝස්ට් එකේ පොරොන්දු වුණ කථාව)

Saturday, November 19, 2011

රැම් හොරැ ඇල්ලීම..

‍මේක අපේ ගමේ වෙච්ච සීන් එකක්. ඒ අපි ඒ ලෙවල් කරන කාලයේය. අපේ ගෙවල් ලග කොළඹ ඉස්කෝලෙකට යන මගේ වයසේම මිතුරෙක් වීය. ඕලෙවල් කරන කාලේ ගිය ටියුෂන් ක්ලාස් එකක පොර සිටියේ මාත් එක්කය. ඒකත් අපේ ගමේම ක්ලාස් එකකි. අපේ ගොඩක් එවුන් ඕලෙවල් කලේ සබ්ජෙක්ට් 12ක් නම් 12ටම ක්ලාස් ගියහ. එතොකොට සතියට දවස් 7ක් මදි කියා සමහරු කියති. මම ක්ලාස් ගියේ විද්‍යාව, ගණිතය හා ඉංග්‍රිසී වලට පමණි. සිංහල, චිත්‍ර වගේ විශයන් වලටත් අනිත් එවුන් ක්ලාස් ගිය කාලේ ඉංග්‍රීසි වලට ක්ලාස් ගිය එක වැරදි නැත. අහ් මම තව බුද්ධ ධර්මයටත් ක්ලාස් ගියා. ක්ලාස් එක තිබ්බේ ඉරිදා. කැළණි පන්සලේ. උදේම ගිහින් දාන ශාලාවෙන් මොනව හරි කාලා 11ට ගෙදර එන එක තමා කලේ. කොහොම හරි ක්ලාස් තුනකට ගිහින් විශිෂ්ඨ සාමාර්ථ 6ක් අරගෙන තමා අවුරුදු දෙකක්, තුනක් විනාස වෙන්න ඒලෙවල් මැත්ස් කරන්න ගත්තේ.

මම කලින් කියපු අපේ මිත්‍රයට හිටියා අපිට වඩා අවුරුදු 3ක් විතර බාල මල්ලි කෙනෙක්. මල්ලි වුණාට අ‍පි කොල්ලට කතා කරන්නේ සම වයසේ මිත්‍රයෙක්ට වගේ. පොරත් අපේ මිත්‍රයගේ ඉස්කෝලෙමයි. අයියලා, මල්ලිලා හිටියේ (තවමත් ඉන්නේ) එක ලග ගෙවල් දෙකක. ගෙවල් දෙකම අපේ ගෙදරට ගොඩාක් කිට්ටුව. මේ කියන මල්ලි මලගෙදරක යන්න කැරම් බෝඩ් එකක් උස්සගෙන ආපු ස්ටෝරිය පස්සේ දවසක දාන්නම්.

මේ පොඩි එකාට ඒ කලේ තිබ්බා ගේම් උණක්. හැමෝටම කාලෙකට තියෙනවා. කාලෙකට හොද වෙන ජාතියේ පොදු ලෙඩක් මේක. ඒත් සමහරුන්ට පොඩි පොඩි රෝග ලක්ෂණ ඉතිරි‍වෙනවා. ඒ කියන්නේ නිට්ටාවට සුව කරන්න අමාරු ලෙඩක් නේ. මම මෙතන ඉදන් අයියා වීරේ ලෙසත්, මල්ලී ධර්මේ ලෙසත් හදුන්වන්නම්.

ධර්මේ කම්පුයුටර් ජිල්මාට් කාරයෙකි. අයියා කම්පුයුටර් ඉගෙන ගෙන තිබ්බත් පොරට ප්රුක්ටිකලි හිතන්න ටිකක් අමාරුය. කොහොම හරි ධර්මේ මල්ලීගේ පීසී එක වීරේ අයියාගේ පීසී එක තරම් ස්පීඩ් නොවීය. ඉතින් ධර්මේට ගේම් ගැසීමේදී ඇතිවූ ප්‍රධාන දුෂ්කරතාව රැම් එකේ ස්පීඩ් එක මදිකම නිසා පොර පුළුවන් හැම වෙලාවකම කලේ වීරේ අයියාගේ මැෂින් එකේ රැම් දෙකෙන් එකක් ගලවං ඒමය. ඒ වගේම වීරේට නොදැනෙන්න නැවත සවි කළ යුතුය.

ඒ අතර දවසක වීරේ ආවේ මාව මීට් වෙන්නය.

"‍මචෝ මගේ පීසී එක ෆෝමැට් පාරක් දාමුද?" වීරේ කථාවට එන්ටර් විය.

"ඇයි බං උඹ භාරයක් වත් ඔප්පු කරන්න හදනවද? සතියට එක පාරක් ගානේ ෆෝමැට් කරන්නේ" මම ඇසුවේ ලගදී දවසකත් පොර මැෂින් එක ෆෝමැට් කල නිසාය.

"අනේ මන්දා බං. වයිරස් කේස් එකක්ද නැත්තම් OS එක කරපට් ‍වෙලාද කියලා. පට්ට ‍ස්ලෝනේ.."

පොරගේ පෙරැත්ත මත මාත් ගියා සීන් එක බලන්න. මැෂින් එක ඔන් වෙනකොටම මම කලේ Bios ගිහින් චෙක් කිරීම.

"මචං උබේ රැම් කැපෑසිටි කොච්චරද?" මට මතක විදියට පොරට තිබ්බේ 512 රැම් දෙකක් බව මතක නිසා මම ඇසීමි.


"1ගිග් බං, 512 දෙකක් ‍ස්ලොට් දෙකේ ගහලා තිබ්බේ"

"ඒකනේ කියන්නේ 1කට සොරි වෙලා. බලපං මෙතන 512 පෙන්නන්නේ"


"අම්ම ගහයි... හිටු කෝකටත් ගලවලා බලමු"

ගලවනවා කිව්වට මැෂින් එකේ ගලවන්න දෙයක් නැත. පියන අරින්න විතරයි තියෙන්නේ. ඇරලා බලනකොට වීරේගේ ඇස් දෙක නලලේය. රැම් එකක් නැත. රැම් එකක් ගිහින් කියන්නේ පිච්චිලා නැත. යන්නම ගිහින්ය. ඒ කියන්නේ ගලවගෙනම ගිහින්ය.

"හරි මචෝ මට තේරෙනවා දැන් සීන් එක අපේ ධර්මයා තමා ගේම දෙන්නේ. මම බලාගන්නම්" වීරේ මිෂන් එකකට සැරසෙන නිසා මම ගෙදර ආවෙමි. සීන් එකේ ඉතුරු ටික මම දැන ගත්තේ වීරේ ගෙන් නොව ධර්මේ ගෙනි.

ටික දවසකින් ධර්මේ සෙට් වුණාම මට වීරේ දුන් මිෂන් එකත්, වීරේ චාටර් වූ හැටිත් අනාවරනය විය. ධර්මේ මලයා කොනක ඉදන් ස්ටෝරිය දිග හැරීය.

"බලපං බං අපේ අයියා වීරේ මාවත් චාටර් කලා බං" ධර්මේ ස්ටොරිය ස්ටාර්ට් කලේය.

"ඇයි මොකෑ සීන් එක" රැම් කතාව අහන්න බැරි නිසා දන්නේ නැති ගානට මම ඇසීමී.

"මම පොරගේ රැම් ගලවලා මගේ එකට ගහගෙන ගේම් ගහනවා" ධර්මේ මට හංගනා දෙයක් නැත. 

"උබ මාර පොරක් නේ" මම දන්නේ නැති ගානට කීමි. "ඉතිං.."

"ඉතිං කියන්නේ දවසක් මම ගලවපු රැම් එකක් හයිකරන්න පොරගේ කාමරේට රිංගලා මැෂින් එක ලග පාත් වුණා. වීරේ අයියා කාමරේ හැංගිලා ඉදලා පිටිපස්සෙන් පැනලා මගේ කලිසම ගැලෙව්වා බං"

"හොද වැඩේ තොට.." මට පැලෙන්න හිනාය.

"අහපංකෝ පනින්නේ නැතිව ස්ටෝරිය. මම කලිසම අදින්න දගලනකොට පොර මට කලිසම අදින්න බැරි වෙන්න පිටිපස්සෙන් බදා ගත්තා. මමත් පොරකන ගමන් කෑගැහුවා..." 
පොර මට කලිසම අදින්න බැරි වෙන්න පිටිපස්සෙන් බදා ගත්තා
"ඊයා යකෝ හෙළුවෙන්ම?????"

"නැතුව. අර බූරුවා මට අදින්න දෙන්නේ නැහැ. කලිසම ගලවලා මාවත් බදාගෙන."

"ඉතිං..?"

"වීරේගේ තාත්තා (ධර්මේගේ මහප්පා) මම කෑගහන, දගලන සද්දේ ඇහිලා කාමරේ කර්ටන් එක එහාට කරලා බැලුවා. මම හෙළුවෙන් අරෑ මාව පිටිපස්සෙන් බදාගෙන.. මහප්පා හිතන්න ඇති වීරේ මට මොනව හරි කරනවා කියලා.. පට්ට චා බං... "

ඇත්තටම අංකල් මොනාද කරන්න ඇත්තේ...

  1. නොදැක්ක ගානට යන්න යනවා.
  2. පැනපු හැටියේ අරුන් දෙන්නට කන පැලෙන්න ගහනවා.
  3. අංකල් මුන් දෙන්නට ස්ටුඩන්ට් වීසා හරි අරන් දීලා ඇමරිකා යවනවා.
Written by sAm_3.15pm_17.11.'11
ධර්මේ මලයාගේ කැරම් බෝඩ් ස්ටෝරිය අහන්නම කැමතිනම් ලයික්/කමෙන්ට් දාලා සපෝට් එකක් දෙන්න.


Friday, November 18, 2011

බඩුත් එක්ක හොරු...

‍අපි ඉස්කෝලේ යන කාලේ ඒ කියන්නේ 7 වසර 8 වසර දී විතර ෆ්ලොෆි එකක් ඉස්කෝලේ ගෙනාවොත් පට්ට ප්ලේස්ය. ඒවගේ කාලෙක සාලිය හදපු නයිට් රයිඩර් සර්කිට් එක මතකයි නේද? අපේ අයියා විසික් කරන ෆ්ලොෆි ඩිස්ක් ඉස්කෝලේ ගෙනිහින් මට තිබ්බෙත් පට්ට ප්ලේස් එකක්ය. මමත් ගෙදර ඉන්නකොට අපේ අයියාකාරයා වැඩ කරන්නැති ෆ්ලොෆි විසික් කරනකල් බලන් ඉන්නේ ඉස්කෝලේ අරන් ගිහින් වැඩ දාන්නටය. දැන් ඉපදෙන එවුන් පස්සේ කාලෙක අපෙන් අසනු ඇත්තේ සීයේ ෆ්ලොෆිය කියන්නේ ‍මොකක්ද කියලාය. එත කොට ඉතින් අපේ සීයලා අපිට බුල්ටෝ ටොෆී ගැන කීවා වගේ කියන්න වෙන්නේ ඒකත් හරියට ‍ටොෆී එකක් වගේ කියාය. ෆ්ලොෆිය අපිට මැජික් වුනේ ඒකේ මෙගා බයිට් 1.44ක ඩේටා දාන්න පුළුවන් නිසාය. මගෙ අප්පේ එච්චර ගො‍ඩාක්???. 
මෙගා බයිට් 1.44ක්?? මගේ අපේපේ..
අපේ එවුන් ඒ කාලේ ගෙදර ඉන්න අයියාගෙන්, නැත්තම් තව යාළුවෙක්ගෙන් අමාරුවෙන් හොයා ගන්න වැල ෆොටෝ දෙක තුනක් (වීඩියෝ දුලබයි) අමාරුවෙන් ඔබාගෙන එන්නේ මේ වගේ ෆ්ලොෆි එකකය. ඒත් සමහර ෆ්ලොෆිවල අමාරුවෙන් දාගෙන එන පින්තූර ඉස්කෝලේ එන කොට එහෙමත් නැත්තම් අල්ලපු ගෙදරින් අපේ ගෙදරට ගේනකොට ‍ෆ්ලොෆියේ නැත. නැවත ෆෝමැට් කරන්නට වේ. 

ඉස්සර අපේ එවුන්ට කොම්පියුටර් ජිල්මාට් දුලබය. කම්පියුටර් අඩු නිසා සමහර එවුන් කම්පියුටර් ගැන හෙන ගජබින්න අත අරිති. ඒ අතර මට හොදටම මතක 8 වසරේදී අපේ සංඛයා කීවේ පොර ගෙදර යන ගමන් මඩවලක තිබී කම්පුයුටර් එකක් ඇහිලුවා කියාය. අපි ඒ කාලේම කීවේ පොර වැරදිලා අහුලන්නට  ඇත්තේ සයන්ස්ටිෆික් කැල්කියුලේටරයක් බවය. පොරට එය කම්පුයුටර් එකක් ‍වගේ වන්නට ඇත.

ඒ කාලේ ගොඩක් එවුන්ට තිබ්බේ ටී වී ගේම්ය. ඒ කියන්නේ අපේ කාලේ වීරයා වුනේ "සුපර් මරියෝය". ඒක පස්සේ කාලෙක උඩ රැවුල තිබ්බ, මිටි, බම්ප් වෙවී ඇවිදින  ප්‍රින්සිපල් කෙනෙකුටත් දාපු නමකි. ප්ලේස්ටේෂන් එකක් තිබ්බේ එහෙමත් එකෙකුටය. සමහරු අල්ලපු ගෙදර තිබ්බත් කථා කරන්නේ තමන්ගේ ගෙදර තියෙනවා මෙන්ය. අපේ එවුන් ඒ කාලේ ටීවී ගේම් වලට එන කාට්රීජ් මාරු කරගෙන සෙල්ලම් කිරීමේ  ජාවාරමක නිරත විය. ඒත් මේවා ගේට්ටුවෙන් ඇතුලට ගෙන ඒම තහනම්ය. අනික ගේට් එක ලගදී බෑග් වැඩිහිටි ශිෂ්‍ය නායක නායිකාවන් අතින් පූර්ණ පරීක්ෂාවට ලක්වේ. (එයාලත් මේවාට ආස නිසා හොදට චෙක් කළහ) ඒක නිසාම අපේ එවුන් කෑම පෙට්ටියේ, පොත් වල කවර අස්සේ, නැත්තම් ෂර්ට් අස්සේ, මේස් එක අස්සේ, තමයි ඒ වගේ වටිනා කියන දේවල් අරන් ආවේ. කාට්රීජ් වගේ ඒවා  පේන නිසාත්, ගේන්න අමාරු නිසා ප්ලාස්ටික් කව‍රය අයින් කරලා සර්කිට් එක විතරක් ගෙනාපු කාලෙකුත් තිබිණි. මේ කාලේ කැසට් පීස්, ඩෙක් පීස් එහෙමත් තිබ්බා. ඒත් ගේන්න අමාරුයි. වැඩ කරන්නේ නැති පීස් වල ටේප් ගස් වල එල්ලී එල්ලී තමා තිබ්බේ.
අපේ කාලේ වීරයා වුනේ "සුපර් මරියෝය"
පස්සේ කාලෙක අපේ එවුන් සෞඛ්‍ය පොත අග ඉදන් මුලට කියවලා ඉතින් වැඩිහිටි වෙන්න ගත්තේ 9,10 වසර වලදීය. අපේ එවුන් අතට සීඩී එන්න පටන් ගත්තේ අන්න ඒ කාලේය. ඒවාත් ගොඩක් ආවේ පොත් වල පිටකවර අස්සේ නැත්තම් ෂර්ට් එක අස්සේය. ඒත් ඉතින් අපේ එවුන් මොන දේ ආවත් දේශීය දේවල් වල වටිනාකම රැක ගැනීමට උත්සුක වූහ. ඒ කියන්නේ පත්තරය. ඒ කියන්නේ විජය, මිහිර, විදුසර ‍ගැන නෙවේය. රෑප තියෙන, කතන්දර තියෙන, කක්කුස්සියේ ඉදන් කියවන, ඒ කාලේ අපේ එවුන්ට ඉතා වැදගත් වූ පත්තර ගැනය.

මේ පත්තර නිසා අපේ එවුන්ගේ සහයෝගීතාව වැඩි වීය. හේතුව පිටු මාරු කරගෙන කියවීමයි. මම නම් කිව්වේ මේවා ෂෙක්ෂන් එකේ නෝටිස් බෝඩ් එකේ එහෙමත් නැත්තම් බිත්ති පුවත් පතේ දැම්මනම් හොදයි කියාය. සමහර වෙලාවට හැමෝටම කියවන්න වෙලා නැති හින්දා එක්කෙනෙක් කියෙව්වේ වටේ ඉන්න සෙට් එකටම ඇහෙන්නය. හරියට ඉස්සර ගමේ කෝපි කඩේ අකුරු බැරි එවුන්ට ඇහෙන්න ප්‍රවෟත්ති කීවා වගේය.

මේ කාලේ දරුණුවට ගිය ඩුම්මගේ සූදුව මෙන්ම මේ ජාවාරම් මර්ධනයට පිනාගෙන් උපාය යෙදුනේය. හදිසි පන්ති වැටලීම් මෙහි ප්‍රතිඵලයක් විය. ඒ නිසා අපේ එවුන් සදුදා උදෑසන රැස්වීමට ගියේත්, ගේන බඩු රහස් තැනවල තැබුවේත් වැටලීම් වලින් බේරී සිටීමටය. (ගොඩක් ‍හොර බඩු හැංගුවේ බුදු පහන තියෙන ලෑල්ල අස්සේ හෝ ගුරුමේසයේ රෙද්ද යටය) නැත්නම් පන්තියේ නැති අතරතුර රහසේ පන්ති වටලා නඩු භාණ්ඩ රැගෙන රැස්වීම අතර තුරදීම ස්ටේජ් එකට කැදවීමකි සිදුවේ. එය පට්ටම චාටර්ය.

එදා සුපුරුදු පරිදි නඩු භාණ්ඩ සගවා අපි සදුදා උ‍දෑසන රැස්වීම පැවැත්වෙන පිට්ටනියේ පේලියට සිටියෙමු. ප්‍රින්සිපල්ගේ කථාව අතරතුර ස්ටේජ් එකට ආවේ ඒ කාලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාය. පොර අතේ කළුපාට ලොකු ටියුලිප් බෑග් එකක් පිරෙන්න ‍අල්ලා ගත් හොර බඩුය.

ඉන් ඩෙක් පීස් 5ක් පමණ එලියට ගත් පිනා ඇසුවේ මේක කවුද ගෙනාවේ කියාය. කවුරුත් සද්ද නැතිය. එකක් පටාස් ගා පොලොවේ ගැසින. අයිතිකරුට බලා සිටිය නොහැකිය. තවෙකක් පොලේ ගැසින. පීටර් ස්ටේජ් එකට නැග අනන්‍යතාව ප්‍රකාශ කලේය. පසුදාම පීටර්ගේ දෙමාපියන් කැදවා පිනා කළේ ඔහුට දෙමාපියන් ඉදිරියේම ටීවී එක දමා ඩෙක් පීස් බලන්නට ඉඩ සලසා දීමයි.

ඊලගට බෑග් එකෙන් එලියට ආවේ සුදු වෙන්න ගාන ක්‍රීම් එකක්ය.

"ආ.. මේ මොකක්ද? ෆෙයාන(ර්)ස් ක්‍රීම් එකක් නේද?" අනිවාර්යෙන් මේක ලේඩීස් අයටම් එකකි.


"කෝ එන්න බලන්න අයිතිකාරයා" පිනා චාටර් වොයිස් එකක් දැමීය.

ඒ පාර අනන්‍යතාව ප්‍රකාශ කලේ කළුම කළු, දැකුම් කළු තුල්සි කෙල්ලය.



  • කාල වර්ණයෙන් යුතු පුද්ගලයෙක්ට සුදුවීමට ඇති අයිතිය කාටවත් වලක්වනු බැරිය. එසේ වලකනවා නම් එය මානව හිමිකම් පිළිබද ගැටළුවකි. ඒත් අපේ තුල්සි කෙලී මානව හිමිකම් ගියේද නැත. කවදාවත් සුදු වුණේද නැත. 
  • එසේම නොදන්නා දේ දැනගැනීමට, අලුත් දේ ඉගැනීමට අපේ පීටර් කොලුවාට මෙන්ම සෑම ශිෂ්‍යයෙක්ටද අයිතියක් ඇත. තොරතුරු දැනගැනීමේ නිදහස අවහිර කිරීම යටතේ පී‍ටර්ට තුල්සි සමගම ජිනීවා යාමට අවස්ථාව තිබිණ. එහෙත් ඕලෙවල් විභාගය නිසා ඔවුන් ඒ පිළිබද වැඩි උනන්දු නොවීය.
Written by sAm_7.34am_18.11.'11
ලයික් එකක් කමෙන් එකක් දැම්මේ නැත්තම් මම නම් ජිනීවා යනවා...

පලි- නොබෝ දිනකියන් මාටියාට තද වී මැරකම් උග්‍ර වූ නිසා.. මාටියා DJ බව්වා ලෙස හදුන්වා (නොවැම්බර් 25, උදෑසන 12.35 දින) සෑමා පිළිතුරු ලබා දිනි.

Wednesday, November 16, 2011

භීෂණයේ අතුරු කතා - බ්‍රහස්ප්‍රතින්දා ( A week before the parent's meeting)

මරණීය‍ දණ්ඩනයට නියම වෙලා ඉන්න අපරාධකාරයෝ සෙට් එකක් වගේ අපේ එවුන් පන්ති කවයට (ඒ කියන්නේ පේරන්ට්ස් මීටින් එකට) කලින් දවස් 7ක් ගෙව්ව හැටි තමා එපිසෝඩ් විදියට මේ එළියට දාන්නේ. අතර තුර ‍කොම(ර්)ෂල් ඇඩ් දාන එකට කස්ටිය අප්සෙට් වෙන්න එපා කියලත් රික්වෙස්ට් කරනවා. බීපු මිනිස්සු කබරයා දානවා වගේ එහෙමත් නැත්තම් අපේ බොකා බරාස් ගාලා බොක දානවා වගේ ස්ටෝරිය දැම්මොත් අපි එදා වේල හොයාගෙන කන්නේ කොහොමද? පහුගිය දින තුන ගැන දැනගන්න උනන්දු ඇත්තෝ පහල ලින්ක්ස් යූස් කරත්වා.

මෙන්න බුරහස්පතින්දා නොහොත් ත(ර්)ස්ට් ඩේ එපිසෝඩ් එක

පන්ති කවය ලං ලං වෙනකොට අපේ එවුන් රටේ නැති ලෙඩ වැටේ. ඇත්තම කිව්වොත් දාගන්නවා නෙවේ ලෙඩ ඇවිත් බලෙන් පදිංචි වේ. හරියට එක ඉලෙක්ට්‍රෝනයක් අඩුවෙලා ස්ථායී වෙන්න අමාරුවෙන් ඇඹරෙන පරමාණුවක් වගේය (‍ප්‍රොෆෙසර්ලා එහෙම බ්ලොග් එක බලනවා නම් ක්ලෝස් බට්න් එක ක්ලික් කරනවා හොදා). ඒත් ඉතින් අපි උදේම මලක් පහනක් පූජා කරලා ගාථා කියලා ඉත සිතින් පතන්නේ අදවත් ගැල විජ්ජාවක් තිබේවා කියාය. එත් දෙවියෝත් මුහුණු දුසිමයි, ඇස් දුසිම් දෙකයි තිබ්බත් අපේ දිහා බලන්නේවත් නැත. ඉදහිට බැලුවත් බලන්නේ අප පසුකර ගොස් වපර ඇසිනි නැතොත් සයිඩ් කණ්ණාඩියෙනි.

බුරහස්ප්‍රතින්දා මට අතුගාන්න තිබ්බ දවසය. ඒ බව මම දැනගත්තේත් මේ සීන් එක වුණ දවසේය. එතකොටත් ඒ වසරේ මැද භාගයයි. අපේ වාසනාවට මිශ්‍ර ඉස්කෝලෙක ඉගෙන ගත්තෙමු. නැත්තම් පන්තිය අතුගාන්න කෙලි පොඩිත්තියෙක්වත් නැත. අපි ඒ දවස්වල අතුගෑවේ නැත්තේ ඒ දැරිවියන්ට කරදර කිරීමට නොව හුදෙක් ඔවුන්ගේ විවාහ දිවිය සාර්ථක කිරීමේ ඒකායන පැතීමෙනි. නැත්නම් ඒ දැරිවියන්ට "අතුගාන්න ඉගෙන ගන්නවත් ඉස්කෝලේ ගිහින් නැහැ" කියා කොහු ඉදල් පාරවල් කන්න වෙන්නේ තම තමන්ගේ ස්වාමිවරුන්ගෙනි. 

(ඇත්තම කියනවනම් ඒ කාලේ මම හැරී පොටර් ගැන වැරදි ආකල්පයක් තිබ්බ පුද්ගලයෙක්. මම ඇත්තටම හිතාගෙන හිටියේ හැරී යනු ඔහුගේ පාසලේ ක්ලීනින් වැඩ කරන දරුවෙක් කියාය. මන්ද ඔහු නිතර සිටින්නේ කොස්සක් සමගය. හැරී බ්ලොග් එක බලනවනම් සමාවේවා..!!)

කොහෙම හරි බ්‍රහස්ප්‍රතින්දා මට සහ අපේ කොල්ලන්ට අතුගාන්න තිබ්බ දවසේ අපිට උදේම තිබ්බේ සමාජ අධ්‍යයනය පිරීයඩ් එකයි. පන්ති භාර කුසුමේට අනිත් හැම දවසකම උදේ පීරියඩ් එක නිසා එක දවසක් සමාජ අධ්‍යනය ටීචර්ට දී ඇත. මතකනේ කන් ඇහෙන්නේ නැතුව වැරදිලා රිපෝට් එක ගත්ත රංග (අනුවර්ථ නම) අන්න ඒ රංගයාගේ මව තමා අපිට සමාජ අධ්‍යයනයත් කළේ. එයා පන්ති අතුගාන සීන් බලන්නේ නැත. ඒවා අදාල වන්නේ කුසුමේට නිසාත්, ඇය බ්‍රහස්ප්‍රතින්දා උදේම පන්තියට එන්නේ නැති නිසාත් අපිට අතු නොගෑවත් අවුලක් නැත. ඒත් අහිංසක කෙල්ලෝ පන්තිය අතුගාති.

රංගයා ගේ කන් ඇහෙන් නැති නිසා පොරට හැමදාම ඉස්සරහ සීට් එක රිස(ර්)ව් කරලා තිබුනේය. අපේ එවුන් කොහොමත් ඉදිරි පෙල ක්‍රීඩා කරන්නේ නැති නිසා රංගයා නිතර‍ගයෙන් ඉදිරිපෙල ක්‍රීඩා කලේය. අපේ එවුන් පසුපෙලට පොරකන නිසා පන්ති භාර කුසුමේ කීවේ දිනපතා පේලි මාරු විය යුතු බවයි. මත‍කනේ ඉස්සරහම පේලියේ ඉදලා අගහරුවාදා කෙලවුණ හැටි.


රංගයා නිතර‍ගයෙන් ඉදිරිපෙල ක්‍රීඩා කලේය

සමාජ අධ්‍යයනය ටීචර් ඉස්සර කළේ අච්චු පොතම අපේ තනි රෑල් පොතේ පිටපත් කරවීමය. අපි 3 වසරේත් කලේ ඒ වගේම සීන් එකකි. ඒ මවුබස විෂයටයි. එනම් අසා ලිවීමයි. අපිව අතීතයට ගෙනියමින් ටීචර් දාපු සෙල්ලමට අපේ ඔබ්ජෙක්ෂන් ආ නිසා ටීචර් කඩෙන් සිලබස් එකට අදාල වෙනත් පොතක් ගෙන අසා ලිවීම නැවත සාර්ථකව ඇරඹීය. අපේ සාලිය ඒ පොතම කඩෙන් අරගෙන ගෙදර දීම නෝට් එක ලියන් එන්නට පටන් ගත්තේ පන්තියේ විසිල් එකක් ගසා ආතල් එකේ සිටීමටය. දවසක් පොර ටීචර් අසා ලිවීම කරකොට නිකන් ඉද මාට්ටු වීය. ටීචර් ඉස්සරහට ගෙන්නා ඇසුවේ නෝට් එක ලියා තිබේද කියාය. පොර වැඩ්ඩා වගේ පොත දික්කල විට ටීචර් කොර විය. දරුවා මුතු අකුරින් නෝට් එක ‍එලෙසම ලියා ඇත. ඒත් පොර නෝන්‍ඩි වූයේ එදා පාඩමට අදාල කොටසටත් වඩා නෝට් එක කලින්ම ලියා ගෙදරදි ඇදගෙන එන්න කියූ සිතියම් පවා අලවා තිබූ නිසාය.

කොහොම හරි එදා උදේම සමාජ අධ්‍යයනය ටීචර් පන්තියට ආවාය. අපිත් එතකොටම කොරිඩෝවේ ඉදන් පන්තියට පැන්නෙමු. මම මගේ පුටුවට ඉදගන්න ය‍නකොට මෙන්න එතන ටීචර්ගේ පුතා රංග ඉදගෙනය. පොරගේ කන් ඇහෙන්නේත් නැතිය. මොනව උනත් අම්ම පන්තියේ ඉන්නකොට පුතාට සද්ද දාන එක පන්ති කවය අහල පහල තියෙනකොට හොද නැති නිසා පොර‍ට ඇහෙන උච්ච ස්වරයෙන් මම කථා කලෙමි.  පොරට ඉදිරි පෙලට යන්න කී කල පොර මට කීවේ අදට විතරක් ඉස්සරහ ඉන්න ලෙසය.

මොනව උනත් ටීචර්ගේ පුතානේ කියා මම පොරගේ ඉදිරි පෙල ආසනයට ගියෙමි. එතන ඉන්න බැරි පට්ට ගදකි. ටීචරුත් සාරි පොටේ පිහිටෙන් නහය වසා ගෙන ඇත. 


ටීචර් සියළු දුර්ගන්ධ මැද්දේ කට ඇරියාය.

"රංග.. ඇයි තමුසේ අද පිටිපස්සේ ?" ටීචර්ගේ හිතේ මම පොරගේ සීට් එක ආක්‍රමණය කළා කියාය. පොරද සද්ද නැත.

"බලන්න ටීචර් මෙයා වෙනදට කන් ඇහෙන්නේ නැති ලමයා අද කන් ඇහෙනවා ඒකයි පිටි පස්සේ" මම කීවේ, මට බෙට්ට සෙට් වුණ එකට පට්ට මල නිසාය.

"මොකක්ද තමුසේ කියපු කථාව?" 

"මෙයා මෙතන බෙට්ටක් නිසා මාව මෙතනට දැම්මා ටීචර්." මම රිප්ලයි කලෙමි.

"කමක් නැහැ අදට ඔහොම ඉන්නවා" ටීචර් අපේ පෙර වැරදි ඇති නිසා ගණන් නොගෙන කීවාය.

"ඒ මොකක්ද ටීචර් ඒ කථාව. රංගයාට අම්මගේ සැලකිලි, අපිට කුඩම්මගේ සැලකිලි" මම දෙවරක් නොසිතා කීවෙමි. ටීචර්ට කට උත්තර නැත.

"නැගිටිනවා අද අතුගාන්න ඉන්න කට්ටිය" කෙල්ලෝ තුන් දෙනයි, මායි තව අපේ එවුන් දෙන්නෙකුයි නැගිට්ටෙමු. එයිනුත් කෙල්ලෝ තිදෙනා සහ තව අපේ එකෙක් පන්තියේ පැත්තක් අතු ගා තිබූ නිසා ජනාධිපති සමාව ලැබිණ. මාත්, ලක්ෂාත් බෙට්බ නිසා හිට ගෙන සිටියෙමු.

"තමුසේ වැරුද්ද තියාගෙනත් එනවද කට ගහගෙන" ටීචර් කාගේද මාළු මගේ ඇගේම තියා කපයි. හරියට බෙට්ට දැම්මේ මම වගේය.

"හරි දැන් තමුසෙලා දෙන්නා මේක අස් කරනවා. මම දැන් පන්ති වාර්ථා පොතේ නෝට් එකක් දාලා යනවා. මට බැහැ මෙහෙම උගන්නන්න" ටීචර් මාරු වූ පසු අපි නෝට් එක බැලීමු.

"පන්ති කාමරයේ ජරාවක් තිබූ නිසා මෙදින පාඩම කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති විය."

කොහොම හරි අපි එකතු වෙලා වැලි ටිකක් දමා බෙට්ට වැසීමු. පසු කාලෙක වාර්ථා පොතේ පිටුවකුත් සුදු වෑන් එකකින් පැමිණ ගලවාගෙන ගොස් තිබිණ. නැත්තම් පන්ති කවයට සාක්ෂි වන්නේ ඒවාය.

written by sAm_6.15pm_15.11.'11

Related Posts Plugin for WordPress, Blogger...